investigation-underway-following-video-of-incident-at-ambalangoda-police-station

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පිටත රාජකාරි කරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.




අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ තම පියාට පොලීසිය පහර දුන් බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය ඇතුළත කලහකාරී ලෙස හැසිරෙන ආකාරයයි. එහෙත් පොලීසිය සඳහන් කරන්නේ වීඩියෝවේ සඳහන් වියපත් පුද්ගලයා පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේ අධික ලෙස මත්පැන් පානය කර මහමඟ අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසියෙන් මිදී දිවයාමට උත්සාහ කිරීමේදී ඇදවැටී සිදුවූ රුධිර වහනයක සලකුණු අදාළ වීඩියෝ දර්ශනවල සටහන්ව ඇති බවද පොලීසිය පවසයි. පසුව පසුදින (25) අම්බලන්ගොඩ පොලීසිය විසින් මෙම පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ඇති අතර, අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.