වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන පාලම අසලදී ඊයේ අලුයම සිදු වූ දරුණු රථවාහන අනතුරකින් වන්දනාකරුවන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. කබිලිත්ත දෙවාලයේ පූජාවකට සහභාගී වීම සඳහා පල්වත්ත සහ හොරබොක්ක ප්‍රදේශවල සිට ට්‍රැක්ටර් රථ තුනකින් ගමන් කරමින් සිටි පිරිසක් අතුරින් එක් ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අම්පාර දෙස සිට වැලි පටවාගෙන මාතර දෙසට අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදය අසල වූ යකඩ කොටසක ටිපර් රථය ගැටීමත් සමඟ එය ගැලවී ගොස් තේලරයේ අයිනට වී වාඩි වී සිටි පිරිස මතට වැටීම නිසා මෙම බරපතල හානිය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ හොරබොක්ක, ලාව පල්වත්ත, ලුබිනිය සහ උඩහන යන ප්‍රදේශවල පදිංචිව සිටි 21ත් 55ත් අතර වයස්වල පසුවන පිරිසකි. මියගිය අය අතර එකම පවුලේ පිය-පුතු දෙදෙනෙකු ද වන අතර ඒ. එම්. නිලකරත්න බණ්ඩා (55), ඒ. එම්. පසිඳු දිනේෂ් (21), ආර්. සෙහාන් තරංග (26), ඉරේෂ් දේවනිද් (55) සහ ඩී. එම්. රොෂාන් තාරක (31) යන අය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
