battery-energy-storage-systems-to-the-national-grid-in-september

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගතිගාමී පියවරක් තබමින්, වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ලබන සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. දිවයින පුරා පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව විදුලිබල බලධාරීන් සනාථ කරයි.

ජාතික බලශක්ති ස්ථාවරත්වය තහවුරු කිරීම උදෙසා අත්‍යවශ්‍ය වන මෙම බැටරි පද්ධති පසුගිය මැයි සහ ජූනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය ඔස්සේ දිවයිනට ගෙනඑන ලදී.




මෙම දැවැන්ත වැඩසටහන යටතේ අනුරාධපුර උපපොළ ආශ්‍රිතව WindForce PLC සමාගම සිදුකරන ව්‍යාපෘතියේ කටයුතු මේ වන විටත් සියයට 85ක ප්‍රමාණයකින් නිම කර ඇත. එළඹෙන සැප්තැම්බර් මුලදී ගබඩා කරන ලද විදුලි බලය ජාතික පද්ධතියට සාර්ථකව මුදාහැරීමට හැකිවනු ඇති බව ඉදිකිරීම් භාර WindForce PLC සහ ගැලීලි බෙස් (Galilee Bess) සමාගම් පවසයි. මෙහි ක්‍රියාකාරීත්වය අනුව, දිවා කාලයේදී සූර්ය බලශක්ති පද්ධති මඟින් ජනනය වන අතිරික්ත විදුලිය අදාළ උපපොළවල් හරහා මෙම බැටරි පද්ධතිවල ගබඩා කරගනු ලැබේ.

රාත්‍රී කාලයේ මතුවන අධික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මෙලෙස ගබඩා කළ බලශක්තිය නැවත උපපොළවල් ඔස්සේ ජාතික පද්ධතියට නිකුත් කෙරේ. එමඟින් පද්ධතිය අස්ථාවර වීම වැළැක්වෙන අතරම, රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් දැරීමට සිදුවන ඩීසල් බලගාර මත රඳා පැවැත්ම අවම කරගැනීමට අවස්ථාව හිමිවේ. එක් ව්‍යාපෘතියක් මඟින් මෙගාවොට් 10ක බලශක්තියක් ජාතික පද්ධතියට එක්කිරීමට හැකියාව පවතී.




මෙම පද්ධතිවල පාලන සහ කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින NSO (National System Operator Ltd) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර, නඩත්තු කටයුතු අදාළ ඉදිකිරීම් සමාගම් වෙත පවරා ඇත. පරිසරයට කිසිදු හානියක් සිදු නොකරමින් පිරිසිදු බලශක්තියක් සපයන මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිලාභ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය සැලසුම් කර තිබේ. එසේම, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පදනම් කරගනිමින් තවත් උපපොළ 23ක් සඳහා මෙවැනිම බැටරි පද්ධති සවි කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.