
ඩෙංගු රෝග වැළඳීම පාලනය කිරීම සඳහා කුඩා දරුවන්ට ඉලක්ක කර ලබා දෙන ‘කිව් ඩෙංගා – ටාක් 003’ (Qdenga – Tak 003) එන්නත භාවිතයට මේ වන විට පෞද්ගලික අංශයට අනුමැතිය ලබා දී ඇතත් රජයේ රෝහල් වලට එම අනුමැතිය
නොලැබීමෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
‘කිව් ඩෙංගා – ටාක් 003’ එන්නත, මෙරට භාවිතය සඳහා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පූර්ණ අනුමැතිය ලබා දී නොමැති අවස්ථාවක, පෞද්ගලික අංශයට පමණක් ඊට අවසරය දීමෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට, වෛද්‍යවරයා චෝදනා කරයි.
ඩෙංගු රෝගය වැළඳීම වළක්වා ගැනීමට මෙම එන්නත් කුප්පි මාත්‍රා දෙකක් පමණ, මාස තුනක පරතරයෙන් කුඩා දරුවන්ට ලබා දීමට සිදු වෙයි. මෙම එන්නත් කුප්පියක් දැනට ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඇමෙරිකානු ඩොලර් 80 ක් පමණ වන බව ද, හෙතෙම සඳහන් කරයි.
මේ අනුව, එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට මෙරට රෝගීන්ට රුපියල් 60,000 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වෙයි. TAK – 003 යනු, මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු රෝගය පැතිරීමේ තීව්‍රතාවය වැඩි ප්‍රදේශවල වයස 6-16 අතර දරුවන් සඳහා නිර්දේශ කරන ලද එකම එන්නත බවත්, මෙය මාස තුනක පරතරයකින් ලබා දෙන, මාත්‍රා 2 ක්, සමේ මේද ස්ථරයට එන්නත් කිරීම මගින් එය ශරීරය තුළට හෙමින් අවශෝෂණය වන්නක් බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටී.