want-to-go-to-a-foreign-business-conference---yoshits-request-is-out-of-court

රජයට පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට අදාළ නොතීසි ලැබුණු පසු කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

එමෙන්ම විදෙස් ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීම සඳහා පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.




අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව එම කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ නොතීසි ලැබුණු පසු සැකකරුවන්ට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2006 සැප්තැම්බර් 01 වනදා සිට 2007 ජූනි 08 වනදා දක්වා වූ කාලසීමාව තුළ නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගෙන, බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබා දීම මගින් රජයට පාඩුවක් සිදු කර ඔහුට අනිසි වාසියක් සැලසූ බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. පසුගිය 31 වැනි දින මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා අටක් යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. එහි පළමු විත්තිකරු ලෙස වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහතා සහ දෙවැනි විත්තිකරු ලෙස යෝෂිත කනිෂ්ක රාජපක්ෂ මහතා නම් කර ඇති අතර, මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47 ක් ද ඉදිරිපත් කර තිබේ.




සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන් නුවරපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා විදේශීය ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීමට නියමිත බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස පසුගිය සතියේ ඉදිරිපත් කළ විශේෂ මෝසම මගින් ඉල්ලා සිටි බව සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ වන විට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් එම ඉල්ලීම සලකා බැලීමට නොහැකි බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ ඉල්ලීම මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය. මෙම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියහ.