විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත වූ වැඩසටහනට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි. එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙන්නේ අද දින පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත තම සංගමයේ නියෝජිතයන් සහභාගී නොවන බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉදිරියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් කැඳවා 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔවුන්ගේ නීතිමය හා ව්‍යවස්ථාපිත මතය ඉදිරිපත් කිරීමට විපක්ෂ නායකවරයා සංවිධානය කර තිබුණි. ඒ පිළිබඳව ඊයේ දිනයේ දී විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කළ ද, ඊට රජයේ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමි නොවූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ, පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු කළ හැකි සුදුසු අවස්ථාවක් එළඹෙන තෙක් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන ලෙසයි.
අද දින පාර්ලිමේන්තුවේ පැවැති කටයුතු සහ රජය විසින් ප්‍රකාශ කරන ලද ස්ථාවරය දෙස බැලීමේදී මේ පිළිබඳව කිසිදු පාර්ශ්වීය එකඟතාවක් නොමැති බව පෙනී යන බව අදාළ ලිපියේ දැක්වේ. එමෙන්ම තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවැනි අවස්ථාවක් ලබා දීමට රජයට කිසිදු උනන්දුවක් නොමැති බව නිරීක්ෂණය වන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.