an-appeal-by-the-attorney-general-against-the-high-courts-decision-on-cattle-slaughter

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බව නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී.

රාගල මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.




මෙදින අදාළ සැකකරුවන්ට ඇප ලබාදීම හෝ නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව තිබුණි. කෙසේවෙතත් මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් නීතිමය වශයෙන් තමන්ගේ දෑත් බැඳී ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා, මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබාදීමට හෝ ඔවුන් නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

මහාධිකරණය හමුවේ දැනට වලංගු අධිචෝදනා පත්‍රයක් නොමැති පසුබිමක සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවේ තබාගැනීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව විත්තියේ නීතිඥවරු මෙහිදී තර්ක කළහ. එමෙන්ම නදුන් චින්තක සහ මිදිගම රුවන් නමැත්තන් දැනට රඳවා සිටින වැලිසර බන්ධනාගාරය යනු නීත්‍යනුකූල බන්ධනාගාරයක් නොව නාවික හමුදාව සතු රැඳවුම් පහසුකමක් පමණක් බවද විත්තියේ නීතිඥ මණ්ඩලය අධිකරණයේ අවධානයට යොමු කළේය.




එහිදී අධිකරණයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටි නදුන් චින්තක, තමන් වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා නිලධාරීන් භාරයේ පසුවන බව පැවසූ අතර, එම අවස්ථාවේදීද තමන් අසල සිටි නිලධාරියෙකු කැමරාව යොමුකර පෙන්වා සිටියේය. මීට පෙර තංගල්ල ප්‍රදේශයේ රඳවා සිටියදී තමන්ගේ දණහිසේ ආබාධය සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලැබුණු නමුත්, වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුළදී එම ප්‍රතිකාර ලබාගැනීමට ඉඩකඩ සලසා නොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රඳවා තබන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මීට පෙර පැවැති නඩු වාරයේදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ, මෙම විත්තිකරුවන් ඇප මත මුදාහැරියහොත් ඔවුන් නැවත අධිකරණය හමුවට පමුණුවා ගැනීමට යාමේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.