when-cid-inquires-about-basik-and-piyumis-relationship-piyumi-says-no

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන පියුමි හංසමාලි අතර පවතින සබඳතා මෙන්ම, නීති විරෝධී මුදල් විශුද්ධිකරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මුවාවෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාල හරහා උපයාගත් මුදල් සුදු කිරීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.




ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි 48 හැවිරිදි ශිරාන් බාසික් නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු පසුගිය අගෝස්තු 14 වන දින කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ නීති විරෝධී වත්කම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පියුමි හංසමාලි සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය දැඩි ලෙස පරීක්ෂණ පවත්වයි. 2023 නොවැම්බර් 22 වන දින අත්අඩංගුවට ගන්නා ලද කොකේන් ජාවාරම්කරුවකුගේ නිවසේ තිබී ඇයට අයත් BMW මෝටර් රථයක් සොයාගැනීමත් සමඟ, මෙම ජාවාරම් සහ ඇගේ ව්‍යාපාරික කටයුතු අතර පවතින සබඳතා පිළිබඳ සැකය තවදුරටත් තීව්‍ර විය.




කෙසේ වෙතත්, ශිරාන් බාසික් නැමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන චෝදනා පියුමි හංසමාලි විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත. අදාළ පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත්, තමන් සතුව ඇත්තේ ස්වයන් උත්සාහයෙන් හා මහන්සියෙන් උපයාගත් මුදල් පමණක් බවත් ඇය අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් කිසිදු බාහිර පුද්ගලයකුගේ මුදල් තමන් සතුව නොමැති බව පවසන ඇය, සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.