විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡාවකදී, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේදී ඕනෑම අවදානමකට මුහුණ දීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී නීතිඥ සංගමය මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අවදානමක් දරා ගැනීමෙන් තොරව රටේ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බවත්, එම වෙනස්කම් හමුවේ තමන්ට ධුරය අහිමි වුවද එය උපේක්ෂාවෙන් බාරගෙන පිටව යාමට තමන් සූදානම් බවත්ය.
තමන් සතු විධායක බලය හෝ වෙනත් යම් බලයක් කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් භාවිත නොකරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, තමන් බලයේ රැඳී සිටීමේ අරමුණින් පමණක් පැමිණි අයකු නොවන බව පැවසීය. ව්‍යවස්ථා සංශෝධනයක් හේතුවෙන් පූර්වගාමී ජනාධිපතිවරයකුට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ ආකාරයෙන්ම තමන්ටද ඉවත් වීමට සිදුවිය හැකි බවට පළවන මතයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු සඳහන් කළේ, අනාගතයේ කෙබඳු ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදු වුවද ජනතාව වෙනුවෙන් අවදානම් සහිත තීන්දු ගැනීමට පසුබට නොවන බවයි.
අවදානම් සහගත තීන්දු ගැනීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පාස්කු ප්‍රහාරය පිළිබඳ කෙරෙන පරීක්ෂණ ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දුන්නේය. තමන්ගේ ආරක්ෂාව භාරව කටයුතු කරන බුද්ධි අංශ මගින්ම අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් එහි යම් ජීවිත අවදානමක් පවතින බව පෙන්වා දුන් ඔහු, එම අවදානම හමුවේ වුවද අදාළ පරීක්ෂණ ඉදිරියටම ගෙන යන බව ප්‍රකාශ කළේය.
සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ දින උදෑසන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී සිය නොසතුට පළ කළේය. නීතිඥ සංගමයට නිවේදන නිකුත් කිරීමේ පූර්ණ අයිතිය පැවතියද, සාකච්ඡාවක් යොදාගෙන තිබියදී ඊට පෙර එහි අන්තර්ගතය ප්‍රසිද්ධ කිරීම විවෘත සාකච්ඡාවකට බාධාවක් වන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් තමන් මෙම හමුවට පැමිණියේ විවෘත මනසකින් යුතුව සාකච්ඡා කිරීමේ අභිප්‍රායෙන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
විනිසුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. පාස්කු නඩුව සඳහා චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් ඇතුළත් වන අතර, එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝජනය කරන්නේ මහාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් බැවින්, ඊළඟ පියවර ලෙස අභියාචනාධිකරණයට පත්වීම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේද ඔවුන්ට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.