emergency-measures-were-taken-by-the-military-to-prevent-chemical-contamination-of-the-water-distributed-between-colombo-and-gampaha

කැලණි ගඟේ අඹතලේ සහ දකුණු තීරයේ පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ජලය ලබාගන්නා ස්ථාන ආශ්‍රිතව පවතින ජලයේ ගුණාත්මකභාවයට බාධා එල්ලවීමේ අවදානමක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ. පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති යම් රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙම කර්මාන්ත ශාලාවේ රසායනික දුව්‍ය විෂ සහිත වූ අතර ඒවා බොන ජලයට මුසුවීම වැළැක්වීමට ත්‍රිවිධ හමුදාව යොදවා ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වූ බව වාර්තා විය. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, ගංඟා ජලයට අපද්‍රව්‍ය මුසු වී ඇත්දැයි නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙලෙස හදිසියේ ජල සැපයුම විසන්ධි කිරීමට පියවර ගත් බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලත් දැනුම්දීමට අනුව අඹතලේ පිරිපහදුවෙන් සහ කැලණි ගඟ දකුණු තීරයේ පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් සිදුකෙරෙන ජල සැපයුම මෙලෙස තාවකාලිකව නතර කර ඇත.




මෙම සිදුවීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ද පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ වගකිවයුතු ආයතන දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

අත්හිටුවන ලද ජල සැපයුම නැවත යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී යාවත්කාලීන තොරතුරු ලබාදීමට කටයුතු කරන බව පවසන ජලසම්පාදන මණ්ඩලය, මෙම හදිසි පාරිසරික තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදු වූ අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කර සිටියි.