a-note-from-nanda-malanis-granddaughter-randi

අප අතරින් සමුගත් විශාරද නන්දා මාලනියගේ වැඩිමල් දියණිය වරුණිගේ දියණිය රන්දි ගමගේ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ තම මිත්තණිය වෙනුවෙන් සංවේදී සටහනක් තබා තිබේ. ව්‍යාපාරික කාන්තාවක වන රන්දිගේ මව් පාර්ශ්වයෙන් ආච්චි නන්දා මාලනිය වෙද්දී ඇයගේ පිය පාර්ශවයෙන් සීයා වූයේ අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු ධර්මසිරි ගමගේය.

රන්දි තබා ඇති සටහන පහත පරිදිය.

"විශාරද නන්දා මාලිනිය යනු මගේ ආච්චී/ අත්තම්මා බව මා කිසිදිනක උලුප්පා කියා නැත. මා ඇයගේ ලොකු මිණිපිරිය කියා දැන සිටියේ මා දන්නා හදුනන මිනිසුන්ගෙන් ඉතාම අතලොස්සකි. ඇය අපෙන් සමුගත් දා මා දන්නා බොහෝ පිරිසක් ඇය මගේ ආච්චි බව දැන සිටියේ නැත කියා මා හට එවා තිබූ ආදරණීය පනිවිඩ රාශියක් තවමත් මා විවෘත කරවත් නැත.මහා මිල මුදලක් හම්බකර මියගිය ගැහැනියක ලෙස නොව මහා මනුෂ්‍ය ආදරයක් සහ ගෞරවයක් පිරිවරාගෙන අවසන් ගමන් ගිය සරල ගැහැනියක ලෙස මා ආච්චි ගැන නිහතමානීව ආඩම්බර වෙමි. 

මා පුංචි කාලයේ කවා පොවා කතන්දර කියා නිදි කරවූ ආච්චි කෙනෙකු ගැන මගේ විශාල මතකයක් නැත. නමුත් ඊටත් වඩා මග තොටේ දකින සරල අව්‍යාජ මිනිසුන් මා ලගට විත් " ඔයාගෙ ආච්චි නම් පිනට පහල වෙච්ච කෙනෙක්. අපි හරිම ආදරෙයි එතුමියට. අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනි මිනිස්සු තමයි ඒ. ඔයාලටත් ලොකු ආඩම්බරයක් නේ පුතේ ආච්චි" කියා දහස් වාරයක් කියා ඇත. ඒ මිනිසුන්ගේ හිතේ ඉන්නා " නන්දා මාලිනිය" මගේ ආච්චී වීම පිලිබදව මම හිත යටින් සතුටුවිට. ආඩම්බර විය. ආච්චිගේ ගීත සියල්ලම පාහේ මම ආස කරන එවාය. නමුත් " අම්මාවරුනේ" ගීතය එදත් අදත් කවදත් මට අසන්නට අමාරුය. ආච්චි එය ගයද්දී මා බොහෝ විට නැගිට ගොස් එය නොඅසා සිටින්නට උත්සාහ කරමි. එලෙස නැගිට යන්නට බැරිම අවස්තාවකදී ඉකි ගසා හඩමින් එය අසා සිටින්නෙමි. ආච්චි මගේ අම්මාට වඩා මගේ තාත්තාට ආදරය කලාය. මගේ තාත්තාගේ තාත්තා ධර්මසිරි ගමගේ වීම නිසා ආච්චි සීයාට ඉතා ලෙන්ගතුව සිටියාය. මගේ සීයා ගැන දන්නා ඕනිම කෙනෙක් ඔහුගේ බෝසත් ගුණ ගැන දන්නවාය.

 ආච්චි ලේසියෙන් අඩනවා අපි දැක නැත. නමුත් මගේ සීයාගෙ මරණයේදී ඇය ඉකිගසමින් හැඩුවාය. සීයා තරමටම නැති වුනත් මගේ තාත්තාත් නිවිච්ච චරිතයකි. ඒ නිසාම ආච්ව් ඔහුට ඉතා ආදරය කලාය. මේ සියල්ලම ඉතාම මිහිරි මතකය. ආච්චිගේ ජීවිතය සරලය. නැතිවූ බොහෝදේ ඇත. ලබාගත් බොහෝදේද ඇත. නින්දා ප්‍රශංසා ඇගයුම් අවලාද සියල්ලම පාහේ විදින්නට ඇත. නමුත් ඇයට සමකරන්නට කෙනෙකු නැවත බිහිවන්නේ නැත. ආච්චිගේ දේහයට ආදරය පුදකරන්නට ලංකාවේ සෑම තැනකින්ම මිනිසුන් ආවෝය. කිලෝමීටර් ගණන් අවුවේ පෝලිමේ කිසිදු මැසිවිල්ලක් නොනගා ඔවුන් සිටියෝය. වයස් පරතර, පන්ති පරතර කිසිවක් නැත. 


ඒ පැය කිහිපයේ ආච්චීට අවසන් සමුදීමට පැමිණි සියලුම ප්‍රබුද්ධ ප්‍රසිද්ධ කලා ගරු කටයුතු චරිත සියල්ලටම ස්තූති කරමි. නමුත් පෝලිමේ ඇවිද විත් වෙව්ලන අත් අකුරෙන් තුනට හතරට නැවූ පුංචි කොල කෑල්ලක " ආදරෙයි" කියා ලියා එය අපේ අම්මාගේත් පුංචීගේත් අතේ මිට මොලවා කිසිත් නොකියා හඩමින් ගිය අහින්සක මනුස්සයාටත්, " මිස් මම කොසු විකුනන මනුස්සයෙක්, මැඩම්ගේ ගේ ලගින් ගියොත් මැඩම් මගෙන් අනිවාර්යයෙන් කොස්සක් ගන්නවා" කියා විත් දේහයට වැද කැමරාවට මුහුන නොපෙන්වා ගිය මනුස්සයාටත්, කකුල් දෙක නොමැතිව අතේ වාරුවෙන් පැමින අවසන් සමුදීමට පැමිනි මනුස්සයාටත්, අතින් ඇදි සේයාරුවක් අතින් ගෙතූ මල්මාලයක්, එක රෝස මලක් ගෙනවිත් ආච්චිට ආදරෙන් සමුදුන් සාමාන්‍ය රසිකයාටත් හිස නමා ආචාර කරමි. ගරු කරමි. 
පින් දෙමි. ලෝකයක් ඉදිරියේ " උඩගු ලියන් ගොතා බදින" ගැයූ “විශාරද නන්දා මාලිනියට" හදවතින්ම ගරු කරමි. නමුත් ඇගේ නිවසට ගිය විට " කෝමද පුතේ දැන් ඔයාලගෙ බලු පැටියා, දගයි ද තාම" කියා අසා පින්තූර පෙන්වූ විට ඒවා බලා සතුටු වී තේ සහ බිස්කට් දුන් “ආච්චීට" නිතැතින්ම ආදරය කරමි.

 ඉතින් ආදර ආච්චී, නිවනින්ම සැනසේවා! 
 ඔයාගේ ආදර ලොකු මිණිපිරිය රන්දි "

news-2026-08-25-050821

news-2026-08-25-050821

news-2026-08-25-050821