trafficking-in-photographs-and-sex-scenes-of-children-and-women

ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ සමූහ නිර්මාණය කරගනිමින් කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම අසභ්‍ය දර්ශන මුදලට අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය හමුවේ කාන්තාවන් සහ ළමයින් වින්දිතයන් බවට පත්වීම වැළැක්වීම සඳහා අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමු කරමින් අවශ්‍ය කඩිනම් මැදිහත්වීම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.




මූලික සොයා බැලීම්වලින් අනාවරණය වූ කරුණු වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතද යොමු කර ඇත. මෙම ජාවාරම්කාර සමාජ මාධ්‍ය සමූහ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ව්‍යාජ ගිණුම් උපයෝගී කරගනිමින් පුද්ගලයන් සිය සමීපතමයන්ගේ සහ පවුලේම සාමාජිකාවන්ගේ ඡායාරූප හා වීඩියෝ මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවයි. තවද මෙකී නීති විරෝධී ජාවාරම්කාර සමූහ අතුරින් බහුතරයක් විදේශ රටවල සිට මෙහෙයවනු ලබන බවද හඳුනාගෙන තිබේ.

තමන්ගේම නිවස තුළ පවා පවුලේ කාන්තාවන් සහ ළමුන් මෙවැනි අනාරක්ෂිත තත්ත්වයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, දෙමව්පියන් සිය දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට අමාත්‍යාංශය අවධාරණය කරයි. යම් හෙයකින් පවුලේ අයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් බවට පත්ව සිටින්නේ නම් හෝ මෙයට ඇබ්බැහි වූවෙකු ලෙස නිරීක්ෂණය වන්නේ නම්, ඔවුන් වහාම මනෝ සමාජයීය උපදේශන සේවා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දී ඇත.




මෙවැනි අපරාධවලින් ආරක්ෂා වීමට මෙන්ම අවශ්‍ය නෛතික උපදෙස් හා සහාය ලබාගැනීම වෙනුවෙන් 1938 සහ 1929 යන ගාස්තු රහිත උපකාරක දුරකථන අංක ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ. මේ අතරතුර, මෙම බරපතල අවදානම් තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් දැනුවත් කිරීම සඳහා ක්‍රියාකාරීන් විසින්ද ලිපි සහ වීඩියෝ පට විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට එක්කරමින් පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් සිදු කරමින් පවතී.