americas-allies-in-the-middle-east-have-felt-that-america-will-lose-the-iran-war

ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය විශ්වසනීයත්වය පිළිබඳව එහි මිත්‍ර රටවල් අතර දැඩි සැකයක් මතු වෙමින් පවතින බව මැදපෙරදිග ගැටුම ආශ්‍රිත නවතම තත්ත්වයන් මගින් පෙන්නුම් කරයි. මාස හයක් පුරා ඉරානය සමඟ පවතින යුද්ධය මේ වන විට උපායමාර්ගික පරාජයක් කරා ගමන් කරමින් සිටින බව ඇමරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ අදහස වී තිබේ.

හමුදාමය සුපිරි බලය තිබියදීත් ඉරානය තුළ තිරසාර වෙනසක් ඇති කිරීමට ඇමරිකාව අපොහොසත් වීම, රුසියාව සහ චීනය වැනි රටවලට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ යුද අරමුණු නිරන්තරයෙන් වෙනස් වීම සහ ඇමරිකානු හමුදාවලට අවශ්‍ය ප්‍රධාන අවි ආයුධ හිඟ වීම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර තිබේ.




වර්තමානය වන විට ඉරානය වඩාත් දැඩි මතධාරී රජයක් යටතේ ස්ථාවරව සිටින බවක් පෙනෙන්නට ඇති අතර, ඔවුන්ගේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් යම් පසුබෑමකට ලක්වුවද සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැත. තවද, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය අතිමහත් ලෙස ඔවුන් සතුව පවතින අතර ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මගින් මිත්‍ර රටවල බලශක්ති යටිතල පහසුකම් වලට මෙන්ම ඇමරිකානු හමුදා කඳවුරු වලටද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. මෙම යුද්ධය හේතුවෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය යන දෙරටම දුර්වල තත්ත්වයකට පත්ව ඇති අතර, එමගින් ඔවුන් අතර පවතින සබඳතාවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඇමරිකාව මේ වන විට හමුදාමය වශයෙන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද සිය විශ්වසනීයත්වය අහිමි කර ගනිමින් සිටින බවයි. ජාත්‍යන්තර අර්බුද සමූහයේ ඉරාන ව්‍යාපෘති අධ්‍යක්ෂ අලි වයෙස් පෙන්වා දෙන පරිදි, සෞදි අරාබිය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන් පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ ඉන් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කිරීම ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික පොරොන්දු පිළිබඳව පවතින විශ්වාසය දැඩි ලෙස බිඳ වැටීමට හේතු වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය සහ මැදපෙරදිග මිත්‍ර රටවල් තම ආරක්ෂාව පිළිබඳව විකල්ප මාර්ග සොයමින් චීනය සහ රුසියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට යොමු වෙමින් සිටිති. චැතම් හවුස් හි හිටපු අධ්‍යක්ෂ රොබින් නිබ්ලට් සඳහන් කරන්නේ මෙය ඇමරිකාව කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවට මිත්‍ර රටවලට ලැබුණු තහවුරු කිරීමක් බවයි.




මෙම අර්බුදයේ බලපෑම ඇමරිකාව අභ්‍යන්තරයටද දැනෙමින් පවතින අතර, ප්‍රාන්ත හතක පමණ ජල සැපයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාව පිටුපස ඉරානය සිටින බවට බලධාරීහු සැක කරති. මීට අමතරව, පේට්‍රියට් මිසයිල වැනි අත්‍යවශ්‍ය ගුවන් ආරක්ෂක පතරොම් හිඟය යුක්‍රේන යුද්ධයට ද අතුරු බලපෑමක් එල්ල කර තිබේ. මෙය ඇමරිකාවට දිගුකාලීන යුද්ධයක් සඳහා අවශ්‍ය සැපයුම් පවත්වා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියාවට සහ චීනයට ලබා දෙන්නේ දුර්වල ප්‍රතිරූපයකි. මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමන පාලනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර දැනට පැවැත්වෙන සාකච්ඡා ද ගෝලීය සමුද්‍රීය නීතිවලට විශාල බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දකුණු දිග මාර්ගයේ තනි පාලනයක් ඉල්ලා සිටින ඉරානය, ඒ හරහා ගමන් කරන යාත්‍රා සඳහා අනිවාර්ය ගාස්තුවක් අය කිරීමටද සැලසුම් කර ඇත. ජාත්‍යන්තර සාකච්ඡා වලට පක්ෂපාතී ඉරාන නියෝජිතයින් පවා මේ වන විට ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාවර එකඟතාවයකට පැමිණීම පිළිබඳව දැඩි අවිශ්වාසයකින් පසුවේ.