vehicle-imports-have-decreased

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ මුල් මාස හය තුළදී මෙරටට ආනයනය කර ඇති වාහනවල සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 125.4 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 41,971 කි. පසුගිය වසරේ මුල් මාස හයේදී වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 157 ක් (රුපියල් කෝටි 52,614 ක් පමණ) වැය කර තිබූ අතර, ඊට සාපේක්ෂව මෙම වසරේ මුල් භාගයේදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 318 කින් හෙවත් රුපියල් කෝටි 10,645 ක පමණ අඩුවීමක් පෙන්නුම් කරයි.




මෙම වසරේ ජූනි මාසය තුළදී පමණක් මෙරටට ගෙන්වා ඇති වාහනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 182 ක් (රුපියල් කෝටි 6,093 ක් පමණ) වන අතර, එය මැයි මාසයේ වාහන ආනයන වියදමට සාපේක්ෂව සියයට 27.1 ක හෙවත් රුපියල් කෝටි 2,276 ක පහළ යාමකි. කෙසේ වෙතත්, පසුගිය වසරේ ජූනි මාසයේදී සිදුකළ ඩොලර් මිලියන 163 ක (රුපියල් කෝටි 5,455 ක පමණ) වාහන ආනයනයට සැසඳීමේදී මෙම වසරේ ජූනි මාසයේ වියදම රුපියල් කෝටි 638 කින් ඉහළ ගොස් ඇත. ගතවූ මැයි මාසයේදී ඩොලර් මිලියන 250 ක (රුපියල් කෝටි 8,367 ක පමණ) සහ අප්‍රේල් මාසයේදී වාණිජ හා පෞද්ගලික දෙවර්ගයම ඇතුළත්ව ඩොලර් මිලියන 208 ක (රුපියල් කෝටි 6,240 ක පමණ) වාහන මෙරටට ගෙන්වා තිබේ.

වසරේ මුල් මාස පිළිබඳව සැලකීමේදී, පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක (රුපියල් කෝටි 5,850 ක පමණ), පෙබරවාරි මාසයේදී රුපියල් කෝටි 5,820 ක පමණ සහ ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 224 ක (රුපියල් කෝටි 6,720 ක පමණ) වටිනාකමකින් යුතු වාහන දිවයිනට ආනයනය කර ඇත.




වාහන ආනයනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ක පමණ මුදලක් වැයවීම ශ්‍රී ලංකා රුපියල කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කිරීමට හේතු විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආනයනික වාහන මත පනවා තිබූ සියයට 30 ක අධිභාරය සියයට 45 දක්වා සියයට 50 කින් ඉහළ නැංවීමට රජය පියවර ගත්තේය. පසුගිය මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම අධිභාර වෙනසත් සමඟ දිනකට මෙරටට ආනයනය කෙරෙන වාහනවල වටිනාකම ඩොලර් මිලියන 3.9 දක්වා අඩුවූ අතර, එම වැඩි කළ අධිභාර ප්‍රතිශතය මෙම මාසයේ 15 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මේ අතර, වසර පහකට පසුව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීය වෙළෙඳපොළ තුළ නිර්මාණය වූ අධික ඉල්ලුමට මේ වන විට අවශ්‍ය සැපයුම ලැබී අවසන් බව වාහන ආනයනකරුවෝ පවසති. ඒ අනුව පැවැති විශාල ඉල්ලුම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දෙන ඔවුන්, වාහන යනු දිනපතා මිලදී ගන්නා භාණ්ඩයක් නොවන බැවින් ඉදිරියේදී ආනයන දත්ත සංසන්දනය කිරීමේදී පසුගිය වසරේ දත්ත වෙනුවට 2019 වසරේ දත්ත භාවිත කිරීම සාධාරණ හා නිවැරදි වන බව ප්‍රකාශ කර සිටිති.