අනුරාධපුර - පාදෙණිය ඒ-28 ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේදී ඊයේ (5) උදෑසන යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එප්පාවල පිහිටි රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 18, ඉහළ වැව, කිරලෝගම ලිපිනයේ පදිංචිව සිට, අනුරාධපුර ගුවන්තොටුපළ පාර,කුඩාවැව ප්‍රදේශයේ දැනට පදිංචිව සිටි, දිසානායක මුදියන්සේලාගේ රොහාන් ජයන්ත බණ්ඩාර නමැති 43 හැවිරිදි අවිවාහකයෙකි. ජීවිතක්ෂයට පත්වන විට ඔහු එප්පාවල රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.
මරණකරු අනුරාධපුර දෙස සිට එප්පාවල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, උදෑසන 7.10 ට පමණ ඒ-28 මාර්ගයේ ප්‍රදේශයේ කිලෝමීටර් 79 - 80 කණු දෙක අතර ප්‍රදේශයේදී ආලියාගල සිට අනුරාධපුර දෙසට තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙ අනතුර සිදුව තිබේ. යතුරුපැදිකරු වෙනත් වාහනයකට ඉස්සර කිරීම සඳහා මාර්ගයේ දකුණු පසට යතුරුපැදිය ගන්නා අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. අනතුරින් තුවාල ලැබූ බැංකු කළමනාකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරා වන එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරු විෂ මත්ද්‍රව්‍ය පානය කර සිටියේද යන්න දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි.එම පරීක්ෂණයෙන් අනතුරුව සැකකරු අධිකරණයට කිරීමට ඉදිරිපත් නියමිතව සිටි බව රථවාහන අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.