නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපනශාලාවක් තුළ සිදුවූ බව කියන නවක වද සිදුවීමකට අදාළව ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසුන් හයදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා අදාළ පීඨයට ඇතුළත් වූ නවක සිසුන් පිරිසකට 2025 අප්‍රේල් මස 29 වැනිදා වදහිංසා පමුණුවමින් ලිංගික කෲරත්වයට ලක්කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.
ලැබුණු පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වද පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර එක් සිසුවියක ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි. අදාළ සිසුවිය සහ සිසුන් පස්දෙනා ඉදිරියේදී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.