indictment-against-yoshita-rajapaksa-and-wasantha-karnagoda

2006 වසරේදී අවශ්‍ය නියමිත සුදුසුකම් සපුරා නොතිබියදීත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීමට කටයුතු කිරීම සහ පවතින සම්ප්‍රදායික පටිපාටියෙන් පරිබාහිරව රජයේ මුදල් වැය කරමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා ඔහු යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට අගෝස්තු 20 වන දා කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.




කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ මෙම අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී විත්තිකරුවන් වෙත භාර දීමට පියවර ගැනුණි. අනතුරුව දෙදෙනාම රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ ය.

මෙම නඩු කටයුත්ත අතරතුර පැමිණිල්ලේ පිළිගැනීම් ඇතුළත් ලේඛනයක් අල්ලස් කොමිසමේ නීතිඥවරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව සැප්තැම්බර් මස 17 වන දින නැවත කැඳවීමට දින නියම කළේ ය.