censorship-to-kaduwela-auto-group-which-modifies-vehicles

කඩුවෙල පිහිටි ඔටෝ ගෲප් (Auto Group) සමාගම වසා දැමීම හෝ එහි හිමිකාරීත්වය වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඉන්දියාවේ 'ගෝප් ඔටෝමෝටිව් ටෙක්නොලොජීස්' (Gaup Automotive Technologies Private Limited) නැමැති සුඛෝපබෝගී වාහන සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

රියදුරු අසුන වම්පස සිට දකුණුපසට මාරු කිරීම සහ වාහන නවීකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මෙම කඩුවෙල ඔටෝ ගෲප් ආයතනය, පීටර් හිල් සහ රොබ් හිල් යන පිය-පුතු දෙපළ විසින් පාලනය කරනු ලබන ඔස්ට්‍රේලියානු ඔටෝ ගෲප් ඉන්ටර්නැෂනල් (Auto Group International Pty. Ltd.) සමාගමට අනුබද්ධිත ආයතනයකි.




පැමිණිලිකාර ඉන්දියානු සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා පෙන්වා දුන්නේ අමෙරිකාවේ නිෂ්පාදිත 'හැමර්' (Hummer EV) මාදිලියේ විදුලි වාහන දෙකක් ආනයනය කර, ඒවායේ වම්පස පැදවීමේ පද්ධතිය දකුණුපස පැදවීම දක්වා පරිවර්තනය කර දීමට විත්තිකාර සමාගම ගිවිසුම්ගතව තිබූ බවයි. එම සේවාව වෙනුවෙන් අදාළ සමාගම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාගෙන ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එලෙස පරිවර්තනය කෙරෙන වාහන නැවත ඉන්දියාව වෙත ප්‍රතිඅපනයනය කිරීමට විත්තිකාර පාර්ශ්වය එකඟ වී තිබුණද, නියමිත පරිදි එම කාර්යය ඉටු කිරීමට ඔවුන් අසමත් වී ඇත. තවද, එකඟ වූ ගිවිසුම්වලට පටහැනිව යමින් අදාළ කඩුවෙල කර්මාන්තශාලාව වසා දැමීමේ සූදානමක් පවතින බවද පැමිණිලි පාර්ශ්වය කරුණු දක්වමින් අවධාරණය කළේය. මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විදේශිකයන්ගෙන් සමන්විත වන බැවින්, ඔවුන්ට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්ද දැනටමත් ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය විය.