ජංගම දුරකථන අංකය වෙනස් නොකර සේවා සැපයුම්කරු මාරු කිරීමේ (Mobile Number Portability - MNP) පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ නොවන බව පවසමින් රජය විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පළවූ මාධ්‍ය වාර්තා නිවැරදි කරමින් රජය මෙම නිවේදනය නිකුත් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අදාළ අමාත්‍යාංශය සහ ජංගම දුරකථන සේවා සපයන සමාගම් අතර දැනට පවතින ගැටලු නිරාකරණය කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව පමණක් බව රජය පෙන්වා දෙයි.
මෙම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර අවසන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ අදාළ බලපත්‍ර කොන්දේසිවලට යටත්ව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ බව අදාළ නිවේදනයේ දක්වා ඇත.
ඒ අනුව සැප්තැම්බර් මාසය අවසානය යනු සේවා සපයන සමාගම්වලට එකඟතාවයකට පැමිණීම සඳහා ලබාදී ඇති අවසාන දිනය මිස MNP සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවන බව රජය අවධාරණය කරයි.
පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් හැකි ඉක්මනින් මෙම පහසුකම හඳුන්වා දීමට කටයුතු කරන බවත්, සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් රජය වැඩිදුරටත් සඳහන් කරයි.