
පසුගිය 2020 වසරේ සිට 2025 වසර දක්වා වූ පස් වසරක කාලය තුළදී මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 3,791 දෙනෙකු විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙරේදා (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙලෙස රට හැර ගිය පිරිසෙන් වැඩි පිරිසක් විදේශගත වී ඇත්තේ සිය පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගැනීමේ අරමුණින් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, විදේශ රැකියා ලබා යාම, සිය කලත්‍රයා සමඟ විදේශගත වීම, විවිධ අධ්‍යාපනික කටයුතු මෙන්ම මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබාගැනීම වැනි අනෙකුත් අවශ්‍යතාවන් වෙනුවෙන් සෙසු පිරිස පිටව ගොස් ඇති බවද සඳහන් කළේය.
මෙම වසර තුළදී පමණක් මේ දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 280 දෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව සභාගර්භයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. එමෙන්ම 2020 වසරේ සිට 2026 ජූනි දක්වා වූ කාල සීමාව තුළදී වෛද්‍යවරුන් 1,429 දෙනෙකු විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු අනුමත කරගෙන ඇති අතර, ඒ අතුරින් විශේෂඥ වෛද්‍යවරුන් 140 දෙනෙකුම මෙලෙස වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශයන් වෙත පිටත්ව ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.
සේවය හැර යාම මෙන්ම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව විදේශගත වූ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ විය. කෙසේ වෙතත්, වෛද්‍යවරුන් මෙරට හැර යාම වැළැක්වීමේ පියවරක් ලෙස ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, වෛද්‍යවරුන්ගේ දීමනා, ප්‍රවාහන හා නවාතැන් පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති නව යෝජනා අධ්‍යයනය කරමින් පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.