two-arrested-for-abusing-a-cat-causing-a-social-media-controversy

සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස සංසරණය වූ වීඩියෝ පටයක පූසෙකුට හිංසා පමුණුවන අයුරු සටහන්ව තිබූ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.




ශ්‍රී ලංකා සත්ව සුභසාධන සන්ධානය (Animal Welfare Coalition) විසින් මෙම සිදුවීමට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව තලාතුඔය පොලිසිය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. පැමිණිල්ල ලැබීමෙන් නොබෝ වේලාවකට පසු අතුල්ගම ප්‍රදේශයේදීම මොවුන් පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම සිදුවීම මීට මාසයකට පමණ පෙර සිදු වූවක් බව සැකකරුවන් ප්‍රකාශ කර තිබේ.




අත්අඩංගුවට පත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය, පොලිස් ආඥාපනතේ 63(අ) වගන්තිය සහ සත්ව හිංසනයට එරෙහි නීතිමය ප්‍රතිපාදන යටතේ මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.