හොරණ, රන්පොකුණගම ප්‍රදේශයේ රෝහල්ගතව සිටියදී මියගිය කාන්තාවකගේ දේහය නිවසට රැගෙන ඒමටත් පෙර, එම නිවස බිඳ වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු හොරණ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 27 සහ 35 යන වයස්වල පසුවන, රන්පොකුණගම ප්‍රදේශයේම පදිංචි මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ දෙදෙනෙකි.
අදාළ කාන්තාව හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, ඇගේ දේහය අවසාන කටයුතු සඳහා නිවසට රැගෙන ඒමට ප්‍රථම නිවසේ කිසිවෙකුත් නොසිටි මොහොතක් ප්‍රයෝජනයට ගනිමින් සැකකරුවන් මෙලෙස නිවසට ඇතුළු වී ඇත. එහිදී නිවසේ තිබූ පිත්තල භාණ්ඩ, මැහුම් මැෂින් කොටස් සහ ජංගම දුරකථන ඇතුළු රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් සොරාගෙන පලා යාමට මොවුන් උත්සාහ කර තිබේ.
සිද්ධිය පිළිබඳව ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ හොරණ මුලස්ථාන පොලිසියේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබූ සොරාගන්නා ලද භාණ්ඩ තොගය ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.