
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසරට අදාළ මූල්‍ය ප්‍රකාශන හා නීතිමය පූර්වාපේක්ෂාවන් සම්බන්ධයෙන් සිදුකළ නවතම විගණන පරීක්ෂණයකින් එහි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක සිදුව ඇති බරපතල අක්‍රමිකතා, පාරදෘශ්‍යභාවය පිළිබඳ ගැටලු සහ නීතිමය අඩුපාඩු රැසක් අනාවරණය වී තිබේ. ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා මුලින් ගණන් බලා තිබූ පිරිවැය රුපියල් බිලියන 1.705ක් වුවද, එම සීමාව ඉක්මවා යමින් රුපියල් මිලියන 276ක වැඩිපුර පිරිවැයක් සහිතව රුපියල් බිලියන 1.981කට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බව එහි දැක්වේ.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත්ව ඇත්තේ එක් ලංසුකරුවෙකු පමණක් වන අතර, රජයේ මාර්ගෝපදේශ මගින් නියමිත අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ටෙන්ඩරය පිරිනැමීම විගණනයේ දැඩි විවේචනයට ලක්ව ඇත. තවද, ජාත්‍යන්තර ලංසු කැඳවීම වෙනුවට ජාතික මට්ටමින් පමණක් ලංසු කැඳවීම නිසා ආයතනයට ලබාගත හැකිව තිබූ මූල්‍යමය වාසි අහිමි වී තිබේ.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් මිලියන 50.83ක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයාම ව්‍යාපෘති උපදේශක තනතුර හෙබවීම හේතුවෙන් බරපතල අභිලාෂයන් අතර ගැටුමක් මතුව ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. එසේම, ව්‍යවස්ථා සංශෝධන සහ නීති උපදේශන කටයුතු වෙනුවෙන් නීතිඥවරුන් සිව්දෙනෙකු සඳහා රුපියල් මිලියන 12.46ක මුදලක් ගෙවා තිබුණද, එම තේරීම් ක්‍රියාවලියේ සාධාරණත්වය සනාථ කෙරෙන කිසිදු නිල ලේඛනයක් විගණනය හමුවට ඉදිරිපත් කිරීමට පාලනාධිකාරිය අපොහොසත් වී ඇත.
එමෙන්ම රුපියල් මිලියන 165ක පිරිවැයකින් ආයතනික සැලැස්මක් සකස් කිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය මාස හයක් ඇතුළත අවසන් කිරීමට නියමිතව තිබුණද එය තවමත් අසම්පූර්ණ මට්ටමේ පවතින බව කියැවේ. කමිටු සාමාජිකයන් සඳහා නියමිත රෙගුලාසි ඉක්මවා යමින් රුපියල් මිලියන 8.023ක මුදලක් දීමනා ලෙස ගෙවා තිබීම මෙන්ම, 2023 සහ 2024 වසරවලදී ක්‍රීඩකයන්ට සහ උපදේශකයන්ට ගෙවන ලද රුපියල් බිලියන 3.2කට අධික මුදලින් උපයා විට ගෙවීමේ බදු අය කර නොගැනීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාව මගින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.