භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යැවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ව්‍යාපාරිකයා සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අදාළ බැංකු නිලධාරීන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි.අධිකරණය හමුවේ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජිෆ්රි නමැති ව්‍යාපාරිකයාගෙන් සහ ඔහුගේ ආයතනයේ සේවකයන්ගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කරගනිමින් මෙම බැංකු නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි. මීට අමතරව, ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර, ඒ හා සබැඳි වෙනත් නඩුවක් හේතුවෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්ද ඔහුව සැප්තැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.
මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයාගත් රුපියල් 6,050,000ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීම සම්බන්ධයෙන් විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ මොහොමඩ් ජිෆ්රිට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. එමෙන්ම නීතිවිරෝධී ලෙස විදේශ විනිමය හුවමාරු කිරීම, කූට ලේඛන සැකසීම, අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ රේගු ආඥා පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු ඉදිරියට සිදුකරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අදාළ සිද්ධියට අනුබල දුන් වෙනත් නිලධාරීන් සිටීදැයි පරීක්ෂණ පවත්වන බැවින්, බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක්ද අධිකරණයට භාර දෙන ලදී. මේ අතර, සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් මහතා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.