actresses-testimonies-revealed-on-padmes-phone-are-explained-in-court

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

ජාත්‍යන්තර රතු වරෙන්තුවකට අනුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන 2025 අගෝස්තු 31 වැනිදා මෙරටට ගෙන එන ලද මොහු, විමර්ශන නිලධාරීන් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශය මගින් සැකකරුගේ ජංගම දුරකථනයේ මකා දමා තිබූ දත්ත නැවත ලබා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී විමර්ශන සඳහා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පටිගත කරන ලද ඇමතුම් 1,101ක් ඇතුළත්ව දුරකථන ඇමතුම් 8,441ක්, ඡායාරූප තුන් ලක්ෂයක් පමණ සහ වීඩියෝ දර්ශන 5,031ක් එම දුරකථනයේ තිබී සොයාගෙන ඇත. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක මෙන්ම නිරූපණ ශිල්පීන් සහ දේශපාලනඥයන් 7 දෙනෙකුගේ ඡායාරූප ද මෙම දත්ත අතර තිබූ බව විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු සහ රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවන් 19 දෙනෙකු සමග පවත්වා ඇති සබඳතා ද මෙම දුරකථන දත්ත මගින් හෙළි වී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උදෙසා වෙන වෙනම ගිණුම් 20ක් විවෘත කර ඇති අතර, ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. එමෙන්ම සැකකරුට අයත් බැංකු ගිණුම් 17ක්, දිවයින පුරා ටෙලර් යන්ත්‍රවලින් මුදල් තැන්පත් කළ ස්ලිප් පත්, ඉන්දුනීසියාවේ ඔහු රැඳී සිටි ස්ථානයෙන් සොයාගත් ලේඛන 13ක් සහ නීත්‍යනුකූලව විදේශගත වී ව්‍යාජ වීසා භාවිතයෙන් රටවල් 13ක 15 වතාවක් සංචාරය කිරීම පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇත.




එහිදී සැකකාර කෙහෙල් බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස සඳහන් කර තිබේ. " ස්වාමීනි... ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළා. ඉන් පසුව 2025 සැප්තැම්බර් මස 02 වනදා කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත විමර්ශන කළා. ඔහු රදවා ගැනීම පිලිබඳව අවස්ථා කිහිපයකදීම ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකථන 08 ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රති උත්පාදනය කර ගත්තා. එම ජංගම දුරකථන වල තිබී දුරකථන ඇමතුම් 8841 ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 326671 ක් අනාවරණය කර ගත්තා. දුරකථන පටිගත කිරීම් 1101 ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5039 ක් හමුවී තිබෙනවා. "

" ස්වාමීනි...එම ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා. ඔහුගේ දුරකථන වල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක හමූවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපන ශිල්පීනියන් 07 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. දේශපාලකයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකථන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා" යනුවෙන් සඳහන් කළා.



වැඩි දුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් " මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගත් ඡායාරූප අතර විවිධ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 19 ක ඡායාරූප හමුවී තිබෙනවා. ඊට අමතරව බැංකු ගිණුම් 17 ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස 21 වනදා සිට නීත්‍යානුකූල විදශ ගමන් බලපත්‍රයෙන් විද්ශ ගත වී තිබෙනවා. මොහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13 කට අවස්ථා 15 කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනි අවි සොයා ගැනීම් සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා"

ගනේමුල්ල සංජීව ඝාතන සිදුවීමේ 18 වැනි සැකකරු ලෙස ද මොහු නම් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. අදාළ නඩුව එළඹෙන මස 4 වැනිදා නැවත කැඳවන බැවින්, එදිනට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසත්, ඔහු මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු බැවින් දැඩි ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයකට යොමු කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය ඉල්ලා සිටියේය. මීට අමතරව සැකකරු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කරන ලෙස අධිකරණ වෛද්‍යවරයා ලිඛිතව දන්වා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා වැලිසර බන්ධනාගාරයට නොදමා වෙනත් ඕනෑම බන්ධනාගාරයකට යොමු කරන ලෙස සහ ඔහුට නිසි ආරක්ෂාව සලසන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, සැකකරුගේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම බන්ධනාගාර අධිකාරීවරයා සතු වන බව දැනුම් දුන්නේය. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහි චෝදනාවලට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම විය.