
කාන්තාවකට සිදුකළ උසුළු විසුළුවක් දුරදිග යාමෙන් බුලත්සිංහල, අතුර කැවීමලේ වත්ත ප්‍රදේශයේ නිවසක් අසලදී තරුණයින් දෙදෙනෙකුට පෙට්‍රල් ගසා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 10 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙලෙස බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ බුලත්සිංහල, පහළ වෙල්ගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ 19 හැවිරිදි සහෝදරයායි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, අත්අඩංගුවට ගත් යුවළගේ කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියකි. ඉකුත් 10 වැනිදා රාත්‍රියේ ඇය සේවය නිමවී බස් රථයෙන් බැස සැමියා සමඟ නිවස බලා ගමන් කරමින් සිටියදී, තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ඇයට උසුළු විසුළු කර ඇත. ඊට කෝපයට පත් සැමියා එම තරුණයින්ට බැණ වැදී ඇති අතර, පසුව අදාළ තරුණයින් දෙදෙනා එම කාන්තාවගේ නිවස අසලට පැමිණ තිබේ.
එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමෙන් අනතුරුව, නිවැසියන් විසින් තරුණයින් දෙසට පෙට්‍රල් සහිත බෝතලයක් දමා ගසා ගිනි තබා ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රථමයෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම සිදුවීමෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් සැකකරුවන්ගේ නිවසට පහරදී දේපළවලට හානි සිදුකර ඇති බවද අනාවරණය වේ.
බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. සී. එස්. කේ. අබේරත්න මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කරුණාරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.