ආදිවාසීන් උදෙසා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඇතුළු ආදිවාසී ජනතාව කිසිදු තොරතුරක් නොදන්නා බවත්, එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුව තිබූ බවත් ආදිවාසී ජාතික නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසති. මෙම පනත සකස් කිරීමට ප්‍රථම ආදිවාසී ජනතාව සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් ලබා නොගැනීම පිළිබඳව රෑහේ නායකයා ලෙස තමා දැඩි කනගාටුව පළ කරන බව ද ඔහු සඳහන් කළේය.
ආදිවාසී දිනයේදී අගමැතිනිය ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත මඟින් ආදිවාසීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවයි. එම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වන වන්නියලැ ඇත්තෝ සඳහන් කරන්නේ එම කරුණු මහ පොළොවේ යථාර්ථයක් වන තෙක් තමන් බලා සිටින බවයි. එමෙන්ම මීට පෙර අගමැතිනිය සිය නිවසට පැමිණි අවස්ථාවේදී ලබා දුන් පොරොන්දු ද මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි.
රටේ පවතින නීති රීති කාලයට සහ අවශ්‍යතාවන්ට සරිලන පරිදි වෙනස් විය යුතු බවත්, එසේ නොමැති නම් රට ඉදිරියට පවත්වාගෙන යෑම අපහසු බවත් පෙන්වා දෙන ආදිවාසී නායකයා, එවැනි නීති සම්පාදනය කිරීමේදී මෙරට ජාතීන්, පරම්පරාවන් සහ සංස්කෘතීන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරයි. මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී තමන් පාර්ලිමේන්තුවට ගොස් අදාළ ගැටලු සාකච්ඡා කළ බවත්, එහිදී මහවැලි, සංස්කෘතික, පරිසර, අධිකරණ අමාත්‍යාංශ ඇතුළු වනජීවී, වන සංරක්ෂණ, නීතිපති දෙපාර්තමේන්තුව සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් එක්ව දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු මතක් කර දෙයි.
එදා පැවැති රජය වෙනස් වීමත් සමඟ නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඇණහිටි අතර, වත්මන් රජය පත් වූ පසු ඒ පිළිබඳව අලුත් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බව වන්නියලැ ඇත්තෝ පවසයි. වත්මන් අගමැතිනිය සිය නිවසට පැමිණි අවස්ථාවේදී ද සාකච්ඡා කොට යම් එකඟතාවලට පැමිණිය ද ඒවා ද තවමත් ක්‍රියාත්මක වී නොමැත. මේ අතර අදාළ පනතට අදාළව ගැසට් නිවේදනයක් සකස් කර ඇති බව මෑතකදී ලැබුණු ලිපියකින් සහ දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණු බවත්, එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳව දැනුවත් වීම සඳහා එය තමන් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් එය ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය කාලය පුරාම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සහ හැඳුනුම්පත් ලබා දීම වැනි බොහෝ දේ සිදු වූව ද, අධිකරණය හමුවට ගිය විට එම ගිවිසුම්වලට කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බව හෙළි වූ බව ආදිවාසී නායකයා වැඩිදුරටත් අනාවරණය කළේය. වනාන්තරවලට ඇතුළු වීමට සහ සම්ප්‍රදායානුකූලව මාළු ඇල්ලීමට අවසර ඇති බව පැවසුව ද, ඒ සඳහා හඳුනාගත් වැව් මොනවාදැයි පැහැදිලි කර නොමැති අතර ආසන්නයේ ඇත්තේ මාදුරුඔය සහ උල්හිටිය වැනි විශාල ජලාශ පමණි. ඊට අමතරව, වලකට වහ නළල දමා මසුන් මරණ සම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳව ද එකී ගිවිසුම්වල කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැත.
මෙවැනි නීති සහ ගැසට් නිවේදන සකස් කිරීමේදී ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන බලපෑම්, ඔවුන්ට ලැබෙන සහන සහ නිදහස පිළිබඳව එම කණ්ඩායම් සමඟ සෘජුව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැතිව හිතුමනාපයට ගැසට් පත්‍ර සකස් කර ගිවිසුම් අත්සන් කළ ද අවසානයේ සිදුවන්නේ ආදිවාසී ජනතාව සිටි තැනම නතර වීම බවත් ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පෙන්වා දෙයි.