
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ රත්මල් වැව ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පසු තුවාල ලැබූ දඩයක්කරුවෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් පුද්ගලයෙකු ගිනිඅවි සහ දඩයම් කරන ලද සතුන්ගේ සිරුරු ද සමඟ අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ. පසුගිය 11 වනදා දහවල් කාලයේ ලුණුගම්වෙහෙර වන උද්‍යාන කළු පාලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි වැටලීමකදී දඩයක්කරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම සිදුවීම වාර්තා වී ඇත.
අත්අඩංගුවට ගත් 44 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සහ දඩයම් කරන ලද තිත් මුවන් දෙදෙනෙකුගේ සිරුරු වනජීවී භාරයට ගෙන තිබේ. අදාළ සැකකරු වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අණපනත්වලට අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
මෙම වෙඩි තබාගැනීම අතරතුර පලාගිය අනෙක් දඩයක්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, සිදුවීමෙන් වනජීවී නිලධාරීන්ට කිසිදු හානියක් සිදු වී නොමැත. වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරී රන්දිස් සේනාරත්න, වන සත්ව අඩවි සහකාර ඒ. රත්නායක සහ ක්ෂේත්‍ර සහායක ඩබ්ලිව්.ජී. සෝවීර යන මහත්වරුන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.