
යෝෂිත රාජප්පක්‍ෂ සහ තමා අතර ප්‍රේම සම්බන්ධයක් තිබු බවත් තමන් විවාහ වී යෝෂිතගේ මිත්තණීය වන ඬේසි ෆොරස්ට් මහත්මියට අයත් ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි නිවසට යෑමට තමන් සැලසුම් කරගෙන සිටි හෙයින් එම නිවසේ ගෘහ අලංකරණ කටයුතු කිරීමට ගෘහ අලංකරණ ශිල්පියකු සමඟත් තමන් කතා කළ බව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් සී.එස්.එන්. නාලිකාවේ හිටපු ප්‍රධානි යසාරා අබේනායක මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ පැවසුවාය.
විවාහ වීමේ අපේක්‍ෂාවෙන් 2009 වසරේ සිට 2013 වසර දක්වා වසර 04ක පමණ කාලයක් තමන්ගේ ප්‍රේම සම්බන්ධතාව තිබුණත් කේන්දර නොගැලපීම නිසා තම ප්‍රේම සම්බන්ධතාව නැවතුණු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් යසාරා අබේනායක මහත්මිය වැඩිදුරටත් කීවාය.රුපියල් කෝටි 7 යි ලක්‍ෂ 30කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ නඩුව විභාග කෙරේ.නඩුව කැඳවු අවස්ථාවේ දී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සී.එස්.එන්. නාලිකාවේ හිටපු ප්‍රධානි යසාරා අබේනායක මහත්මිය මෙසේ ද පැවසුවාය.
අයි.ටී.එන්. නාලිකාවේ සේවය කළ තමා පසු අවස්ථාවක ඉන් ඉවත් වී සී.එස්. එන්. නාලිකාවේ ප්‍රධානියා වශයෙන් සී.එස්.එන්. නාලිකාවේ රාජකාරියට ගියා. මා සී.එස්.එන්. නාලිකාවේ රාජකාරි කරන විට යෝෂිත රාජපක්ෂ සී.එස්.එන්. නාලිකාවේ සේවය කළේ නැහැ. නමුත් ඔහු මගේ වැඩකටයුතු වලට සහාය වුණා.මේ නඩුවේ චෝදනා ලැබ සිටින යෝෂිත රාජපක්ෂ මහතාත් මාත් අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඒ 2009 වගේ කාලයේ දී ඒ කාලයේ යෝෂිත නාවික හමුදා නිළධාරියකු වශයෙන් කටයුතු කළා. 2009 වගේ අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තා. 2013 වසර පමණ වනතුරු අපි ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගියා.
අපි ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය කාලයේ යෝෂිතගේ මිත්තණියට අයත් ගල්කිස්ස මිහිඳු මාවතේ තිබු නිවසක් බලන්න අපි දෙන්නා ගියා. විවාහ වී එම නිවසට පැමිණෙන්නයි අපි දෙන්නා සැලසුම් කරගෙන සිටියේ. එම නිසා එම නිවසේ ගෘහ අලංකරණ කටයුතු කිරීම සඳහා ගෘහ අලංකරණ ශිල්පියකු සමඟ අපි දෙන්නා කතා බහ කළා.
අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය තිබු කාලයේ අපේ ගෙදරට ඉස්සරහ තිබු නිවස විකුණනන්ත දාලා තිබුණා. ඒ පිළිබඳ මගේ මාමා වන වසන්ත ජයසූරිය මහතා යෝෂිතට කියලා තිබුණා එම නිවස සහිත ඉඩම ඔහු ගත්තා ද? නැද්ද? කියා මා දන්නේ නැහැ. 2009 සිට 2013 වසර දක්වා අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගියත් කේන්දර
නොගැළපෙන නිසා අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධතාව 2013 වසරේ දී පමණ නැවතුණා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ ලුෂාන් රත්නායක මහතා සාක්ෂි දෙමින් තමන්ට අයත් ඉඩමක් රුපියල් මිලියන 34ක මුදලකට යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියගේ නමට මිල දී ගත් බව පැවසීය.
ගල්කිස්සේ සිරිමල් උයනේ තමයි මා බිරිඳ සමඟ පදිංචිව සිටියේ" එහි පදිංචිව සිටිය දී මගේ බිරිඳ අසනීප වුණාට පස්සේ සිරිමල් උයනේ නිවස විකිණීමට අපි තීරණය කළා " සිරිමල් උයනේ නිවස විකුණා 'රෝයල් පාර්ක් එකේ තිබු ඇනෙක්ස් එකට යැමට අපි සැලසුම් කළා” ඒ අනුව සිරිමල් උයනේ නිවස විකිණීම සඳහා අපි දැන්වීම් පළකළා.
මගේ යාළුවෙක් වන වසන්ත ජයසූරිය මහතාට මා කිව්වා නිවස විකුණනවා කියා" නිවස මිලදී ගැනීම සඳහා ඔහු ගැනුම්කරුවෙක් අරගෙන ආවා. ගැනුම්කරු කවුද කියා ඔහු මට කීවේ නැහැ. පර්චස් එකක් රුපියල් ලක්‍ෂ 10 බැගින් විකිණීමට මා තීරණය කර තිබුණත් ඉඩමේ පර්චස් 34, 1/2ක් තිබුණා” ඊට පස්සේ වසන්ත ජයසූරිය මට කතාකර ඉඩම ගන්න කෙනෙක් ඉන්නවා කියා මට කිව්වා. හැබැයි ඉඩම ගන්න කෙනා කවුද? කියා ඔහු මට ඒ වෙලේත් කිවේ නෑ.
ඉඩම විකිණීමට අදාළ ඔප්පු අත්සන් කළේ රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී ඔප්පු අත්සන් කරන විට ඉඩමේ ගැනුම්කරු ලෙස ඔප්පුවේ නම සඳහන් කර තිබුණේ ඩේසි ෆොරස්ට් කියා කෙනෙකුගේ නමක්.ස්ටෑන්ඩ් ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුමට සම්පූර්ණ මුදලම වැටී ඇති බව දැනගත් පසු අපි ඔප්පුවට අත්සන් කළා. ඉඩමේ විකුණුම් මිලේ ෆුල් එමවුන්ට් එක වන රුපියල් මිලියන තිස්හතරයි පන්ලක්ෂ හතළිස්දාහක මුදලම බැංකු ගිණුමේ තැන්පත් වී තිබුණා. මුදල් තැන්පත් කළේ කවුද? කියා මා දන්නේ නෑ
2012 ඔක්තෝබර් 10 වැනිදා මා ඉඩම විකිණුවා. ඉඩම විකිණීමට ඇති බවට දැන්වීම් පළ කිරීමට පෙරම නිවසේ තිබු බඩු විකුණා අපේ ගෙදර පැවැත් වූ ගරාජ් සේල් එකට යෝෂිත රාජපක්ෂ මහතා සමග යසාරා ඇවිල්ලා හිටියා. ඔවුන් දෙන්නා අපේ නිවස වටේ ඇවිදලා වටේම බලලා ගියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වසන්ත ජයසූරිය මහතා සාක්ෂි දෙමින් ලුසාන් රත්නායක මහතාට අයත් සිරිමල් උයනේ නිවස මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් මිලියන 34කට අධික මුළු මුදලම ගමන් මල්ලක දමා රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවට එවා තිබුණේ යැයි කීය.යසාරා අබේනායක මිගේ ඥාති දියණියක්. ඇය යෝෂිත රාජපක්ෂ මහතා සමඟ විවාහ වීම සඳහා මුදු මාරුකරගෙන හිටියේ. ඔවුන් දෙන්නා විවාහ වීමට ඔන්න මෙන්න තමයි හිටියේ. ඒ අතරතුර දවසක් යෝෂිත මට හමුවූ වේලාවක දී ලුෂාන් රත්නායක මහතාට අයත් සිරිමල් උයනේ තිබු ඉඩම ගැන මම යෝෂිතට කිවා.
ඔහු ඉඩම මිලදී ගන්න කැමැති බව කිව්වා. ඒ අනුව මා ලුෂාන් රත්නායක මහතා හමුවී ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කළා. ඒ අනුව ඉඩම මිලදී ගැනීමට අදාළ ඔප්පු අත්සන් කළේ රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී. ඔප්පු අත්සන් කරන දවසේදී ආරක්ෂකයෙක් වගේ පෙනුමක් තියෙන පුද්ගලයෙක් ධ්‍රැවලින් බෑග් එකක දාගෙන රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවට අරගෙන ආවා. ඉඩම මිලදී ගන්න අවශ්‍ය කරන මුළු මුදලම නෝට්ටු වශයෙන් බෑග් එකේ දමා ගෙන තමයි ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවට අරගෙන ආවේ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 17 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.