with-conference-pot-and-empty-chairs

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් "සුඛා සංඝස්ස සාමග්ගී" යන තේමාව මුල් කරගනිමින් සංවිධානය කරන ලද විශේෂ මහා සඟ සමුළුව ඊයේ කොළඹ කොටුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සති කිහිපයක සිට සංවිධානය කෙරෙමින් පැවති මෙම සඟ සමුළුව දේශපාලන පක්ෂයකට සම්බන්ධිත පුද්ගලයින්ගේ උවමනාවට සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලවූ නමුත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ සංවිධායක පිරිස් එසේ නොවන බවට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අවධාරණය කරන ලදි.

කෙසේ වෙතත් මෙම සමුළුව සදහා විශාල ප්‍රමාණයක් ාසන පනවා තිබුණද ශාලාවේ පසුපස කොටස පැමිණි පිරිස මෙන් දෙතුන් ගුණයක් හිස් පුටු තිබුණ බවද සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.




සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, ඓතිහාසික බෞද්ධ උරුමයන් සහ විහාර දේවාලගම් සුරක්ෂිත කිරීම උදෙසා රජය ප්‍රායෝගිකව මැදිහත් විය යුතු බව අවධාරණය කරමින්, එහිදී ඒකමතිකව විශේෂ "මහා සංඝ ප්‍රතිඥාවක්" සම්මත කරගනු ලැබීය. ජාතික හා ආගමික සහජීවනය ආරක්ෂා කරමින් ශාසනික අර්බුදයන්ට තිරසාර විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සංවිධානය වූ මෙම සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, උලපනේ සුමංඟල හිමි සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නායක යතිවරයන් වහන්සේලා මූලිකත්වය ලබා දී තිබිණි.

එහිදී ප්‍රකාශයට පත් කරන ලද මහා සංඝ ප්‍රතිඥාව ඉදිරිපත් කරමින් මහා සංඝරත්නය පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ශාසනය සුරක්ෂිත කිරීම රාජ්‍යයේ පැහැර හැරිය නොහැකි ව්‍යවස්ථාපිත යුතුකමක් බවයි. මෙම කාර්යය 10, 14 (1) (ඉ) සහ 27 (11) යන වගන්ති මගින් සහතික කර ඇති අන්‍ය ආගමිකයන්ගේ නිදහසට හා අයිතිවාසිකම්වලට හානියක් නොවන පරිදි සිදුවිය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේලා, 105 (4) අනු ව්‍යවස්ථාව යටතේ භික්ෂු විනය හා ශාසනික ආරවුල් විසඳීමට සාම්ප්‍රදායික ආගමික රාමුවට ගැලපෙන විශේෂ විනිශ්චය මණ්ඩල සක්‍රිය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළහ.




මෙම සංඝ ප්‍රතිඥාව මගින් මහා සංඝරත්නයට හෝ බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව සිදුවන අපහාස, හිංසන හා නීතිවිරෝධී බලපෑම් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී නොවූ විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදී. යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්ති හෝ නිහඬ නොසලකා හැරීම් හේතුවෙන් විබෞද්ධකරණ ක්‍රියාවලියක් නිර්මාණය වන්නේ නම්, ඊට එරෙහිව නීත්‍යනුකූල, සාමකාමී හා අවිහිංසාවාදී ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටීමට අධිෂ්ඨාන කර සිටින බව එහි දක්වා ඇත. තවද, මෙම ප්‍රකාශනය කිසිදු ආණ්ඩුවක් පෙරළීමේ හෝ පක්ෂ දේශපාලන බල අරගලයක කොටසක් නොවන බවත්, එය ව්‍යවස්ථාපිත වගකීම් මතක් කරදෙන ශාසනික හා ජාතික ආයාචනයක් පමණක් බවත් භික්ෂූන් වහන්සේලා පැහැදිලි කළහ.

සමුළුව ඇමතූ ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ දේශීය සංස්කෘතික හා ජාතික බලය විනාශ කිරීමට විදේශගත සංවිධාන හා ඔවුන්ගේ අරමුදල් මත යැපෙන බලවේග ක්‍රියාත්මක වන බවයි. භික්ෂූන් වහන්සේලාට ඉදිරි වසර කිහිපය තුළ වීදි බැසීමට නොහැකි වන පරිදි යටිකූට්ටු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක විය හැකි බවට අනුමාන කළ උන්වහන්සේ, මෙවැනි මඩගැසීම් හා කුමන්ත්‍රණ හමුවේ නිහඬ නොවී මහා සංඝරත්නයේ ශක්තිය හා අදීනත්වය ලෝකයට පෙන්වා දිය යුතු බව ප්‍රකාශ කළහ.



සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ මෙරට වෙසෙන 39,995 ක් වූ සමස්ත භික්ෂූන් වහන්සේලා අතුරින් අතලොස්සකගේ හැසිරීම් සමාජ මාධ්‍ය හරහා ඉතුප්පා දක්වමින් මුළු සංඝ සමාජයම අපහසුතාවයට පත්කිරීම අසත්පුරුෂ ක්‍රියාවක් බවයි. බෞද්ධ ජනතාවගේ දානමානාදී පූජෝපහාරයන්හි හෝ ආගමික වතාවත්හි කිසිදු අඩුවක් සිදුවී නොමැති බව පැවසූ උන්වහන්සේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැමිණියද බුද්ධාගම පිළිබඳ වගන්තිය සුරක්ෂිත විය යුතු බවත්, උතුරු නැගෙනහිර පිහිටි පුරාවිද්‍යාත්මක ස්මාරක දහසකට අධික ප්‍රමාණයක් සහිත මහවැලි ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමෙන් සිදුවිය හැකි අවදානම පිළිබඳවත් රජයේ අවධානය යොමු කළහ.

එමෙන්ම ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක උලපනේ සුමංඟල හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම මහ සඟ සමුළුව ව්‍යර්ථ කිරීමේ අරමුණින් බස්නාහිර, වයඹ සහ මධ්‍යම ආදී පළාත්වල පිරිවෙන් ගුරුවරුන් සඳහා හදිසි වැඩමුළු සංවිධානය කිරීමටත්, සංවිධායක හිමිවරුන් වෙත පොලීසිය මාර්ගයෙන් දුරකථන ඇමතුම් ලබා දෙමින් බියගැන්වීමටත් පාලකයන් උත්සාහ කළ බවයි. එහෙත් ඓතිහාසිකව පෑනෙන්, සිරබත් විඳිමින් හා ජීවිත පූජාවෙන් ජාතික හා ආගමික අභියෝග හමුවේ පෙනී සිටි මහා සංඝරත්නය මෙවැනි අඩන්තේට්ටම් හමුවේ නොසැලෙන බව උන්වහන්සේ පැවසූහ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සංඝ ප්‍රතිඥාව සඟ සමුළුව හමුවේ තබමින් අවධාරණය කළ පරිදි, සම්බුද්ධ ශාසනය, පුරාවිද්‍යා උරුමය හා ජාතික සංස්කෘතිය රැකගැනීම උදෙසා අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව අදීනව කටයුතු කිරීමට රැස්ව සිටි මහා සංඝරත්නය එක්සිත්ව අධිෂ්ඨාන කරගත්හ.

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs

with-conference-pot-and-empty-chairs