විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ බ්‍රහස්පතින්දා දිනක පැවැති සාකච්ඡාවකින් අනතුරුව එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තමන්ට බස්නාහිර පළාත් මහඇමති ධුර අපේක්ෂකත්වය ලබා දීමට නියමිත බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.
පසුගිය 27 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන මෙම සිදුවීම කුමන මාසයක කුමන බ්‍රහස්පතින්දා දිනක සිදු වූවක්දැයි නිශ්චිතව පැහැදිලි කරන්නේ නම් ඊට නිසි පිළිතුරු ලබා දීමට තමන් සූදානම් බවයි. තමන්ට විපක්ෂ නායකවරයා හමු වූ එකම අවස්ථාව වන්නේ පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් සංවිධානය කර තිබූ මහජන සංවාදයේදී පමණක් බව හෙතෙම පෙන්වා දෙයි. එම උත්සවයට සහභාගි වූ සජිත් ප්‍රේමදාස මහතා කෙටි වේලාවකින් එතැනින් පිටව ගිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළදී මෙම අසත්‍ය චෝදනාව එල්ල කළ දිනය තමන් අසිත නිරෝෂණ මන්ත්‍රීවරයාව ප්‍රථම වතාවට දුටු අවස්ථාව බව පවසන රජීව් අමරසූරිය මහතා, ඉන් අනතුරුව පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලූ බව ප්‍රකාශ කළේය. එලෙසම, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති සිය ඡායාරූපය වෙනස් කරගැනීමට කටයුතු කරන්නේ නම් එය මන්ත්‍රීවරයකු ලෙස ඔහුට වඩාත් සුදුසු ක්‍රියාවක් වනු ඇති බවටද සභාපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.
ජනතා මුදලින් නඩත්තු වන, ජනතා පරමාධිපත්‍යට යටත් ආයතනයක් වන පාර්ලිමේන්තුව වැනි ස්ථානයක සිට මෙලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන බව පැවසූ නීතිඥ රජීව් අමරසූරිය මහතා, ආණ්ඩුව තුළ මෙවැනි තවත් මන්ත්‍රීවරුන් සිටිනවාද යන්න තමන් නොදන්නා බවද පැවසීය. එමෙන්ම, මෙම අසත්‍ය ප්‍රකාශය පාර්ලිමේන්තුවට පිටතදී සිදු කළේ නම්, ඊට එරෙහිව ප්‍රථමයෙන්ම නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.