ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගන්නා දේශපාලන උත්සාහය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන මන්දගාමී පිළිවෙත සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ආණ්ඩුවේ මෙම දේශපාලන වුවමනාවට එරෙහිව විපක්ෂ නායකවරයා සෘජු නායකත්වයක් ලබා නොදීම හේතුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහස් එකඟතාවක් පවතින්නේ දැයි පක්ෂ අභ්‍යන්තරයෙන්ම බරපතල සැකයක් මතුව ඇත.
පසුගියදා රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනෙකුම මැසිවිලි නගමින් ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට හිතවත් සිවිල් සංවිධාන මෙන්ම නීතිඥයන් පවා ජනාධිපතිවරයා විසින් අධිකරණයට සිදුකරන බලපෑම්වලට එරෙහිව වීදි බසිද්දී විපක්ෂ නායකවරයා නිහඬව සිටීම පක්ෂයට බරපතල අවාසියක් වී ඇති බවයි.මෙම තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේගයේ නීතිඥයන් සිය දහස් ගණනින් කොළඹට කැඳවා විරෝධතා සංවිධානය කළ යුතු බවට කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ. එමෙන්ම අධිකරණයට සිදුවන දේශපාලන අතපෙවීම්වලට එරෙහිව සමස්ත විපක්ෂ බලවේග ඒකාබද්ධ කරමින් සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණට පැමිණිය යුතු බවට ද ඔවුහු ඉල්ලා සිටිති. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් හදිසියේ සංශෝධනය කිරීම සමස්ත නීති පද්ධතියේම බිඳවැටීමකට හේතුවන බව පෙන්වා දෙන කමිටු සාමාජිකයන්, මහාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ විනිසුරුවරුන්ට ඉහළට යාමට ඇති වෘත්තීය අවස්ථා සහ අයිතිවාසිකම් මේ හරහා ඇහිරී යන බව අවධාරණය කරති. රජය තමන්ට හිතවත් විනිසුරුවරුන් රඳවා තබා ගැනීමට සහ උසාවිය තමන්ගේ දේශපාලන වුවමනාවන් අනුව නම්‍යශීලී කරවා ගැනීමට මෙම උපක්‍රමය භාවිත කරන බවට විපක්ෂය මීට පෙර ද පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබිණි.
පක්ෂ අභ්‍යන්තරයෙන් මෙලෙස දැඩි බලපෑම් එල්ල වුවද,
සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම ප්‍රසිද්ධ රැස්වීම්වලදී ද රජයේ මෙම ක්‍රියාව අධිකරණයේ ස්වාධීනත්වයට සිදුකරන ඇඟිලි ගැසීමක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කිරීමට කටයුතු කර තිබේ. මේ අතර, උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මාස හයකට අධික කාලයක් පුරා පුරවා නොතැබීමෙන් නීතියේ ආධිපත්‍යයට සිදුව ඇති හානිය පිළිබඳව විවාදයක් කැඳවීමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 83(1) යටතේ පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජුනි 26 වනදා අදාළ ලියකියවිලිවලට අත්සන් තබා කතානායකවරයා වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබේ. කෙසේ වුවද සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු සාමාජිකයන් අවධාරණය කරන්නේ ඉහළ අධිකරණවල විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති දේශපාලන තීන්දුව පරාජය කිරීම සඳහා විපක්ෂ නායකවරයා මීට වඩා ක්‍රියාකාරීව සහ සක්‍රීයව මැදිහත් විය යුතු බවයි.