පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු හනුමාන් දේව ප්‍රතිමාවක් ඉන්දියාවට අලෙවි කරන බව පවසමින් කෝටි ගණනක මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ජයන්ත බණ්ඩාර අතුකෝරල සහ තලවතුගොඩ පදිංචි සුදුහකුරුගේ ලයනල් රණවීර නැමැති මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් දෙදෙනා, එල්.ටී.ටී.ඊ. යුද සමයේදී යාපනයෙන් සොයාගත් මැණික් හා රත්තරන් සහිත ලෝහමය හනුමාන් පිළිමයක් 2016 වසරේදී දකුණට ගෙනවිත් වළදමා ඇති බව පවසා ඇත. පසුව එම පිළිමයේ ඡායාරූප සහ වීඩියෝ පට වට්ස්ඇප් (WhatsApp) තාක්ෂණය ඔස්සේ යොමු කරමින් සංවිධානාත්මක ලෙස මෙම මුදල් වංචාව සිදු කිරීමට උත්සාහ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු විසින් රහස් පොලිසියට භාර දුන් වීඩියෝ පටයකට අනුව, පළමු සැකකරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම ද ඈඳා ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, තවත් පුද්ගලයකුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිටියදී ඔහු පොලිස් භාරයට ගෙන තිබේ.
පළමු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව දෙවන සැකකරු මෙම ව්‍යාජ ගනුදෙනුව සඳහා ගැනුම්කරුවන් සොයා දෙමින් අනුබල දී ඇති බව අධිකරණයට වාර්තා විය. අමාත්‍යවරයෙකුගේ නාමය අයථා ලෙස භාවිතා කරමින් කළ මෙම ජාවාරම සම්බන්ධයෙන් සහ පුරාවස්තු පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
අදාළ ගනුදෙනුවෙන් කොටසක් නියෝජ්‍ය අමාත්‍යවරයාට ද හිමිවිය යුතු බවට සඳහන් වන වීඩියෝ පටය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කෙරුණු අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, විමර්ශනවල ප්‍රගතිය එදිනට අධිකරණයට වාර්තා කිරීමටත් නියෝග කළේය.