
දෙහිවල නිසල සෙවණ සුසාන භූමිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සහ ගල්කිස්ස පන්සල් පාර ප්‍රදේශයේදී තවත් අයෙකුට වෙඩි තැබීමට තැත් කිරීම යන සිදුවීම් ද්විත්වයේදීම වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරුපැදිකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අත්තිඩිය, යශෝරාපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
ඉකුත් ජූලි 19 වන දින දෙහිවල සුසාන භූමිය අසලදී ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කුරුප්පු ආරච්චිගේ සුමිත් රූපසිංහ නැමැත්තාට වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් තිබුණි. ඊට දින දෙකකට පසුව, එනම් ජූලි 21 වන දින ගල්කිස්ස පන්සල් පාරේ පිහිටි නිවසකට කඩා වැදුණු එම පිරිස දොන් මුණසිංහ ආරච්චිගේ චමින්ද ආනන්ද නැමැත්තාට වෙඩි තැබීමට උත්සාහ කර, ඔහුට පහරදී පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙල්කඳ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7200 ක්ද සමගිනි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියන්සේලාගේ අවිෂ්ක ඒන් දිසානායක හෙවත් 'කළුබෝවිල අවිෂ්ක' නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම ප්‍රහාර සංවිධානය කර ඇති බවයි.
මෙම අපරාධ සඳහා යතුරුපැදිකරු ලෙස සහභාගී වීම වෙනුවෙන් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලැබී ඇති අතර, ඉන් ඉතිරිව තිබූ රුපියල් 55,000 ක මුදලක් සහ ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු, යොදාගත් ගිනිඅවිය සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ෂාමික මහතාගේ උපදෙස් පරිදි ඒකක 01 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බස්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.