
පසුගිය දිනවල ලෝකය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දැඩි අවධානයක් සහ ආදරයක් දිනා ගැනීමට සමත් වූ අපූරු දෘශ්‍ය පටයක් පිළිබඳව ඔබට මතක ඇති. වෙල් යායක් මැදින් ඉත්තෑවෙකු සහ පූසෙකු පිරිවරාගෙන ඇවිද යන කුඩා දියණියකගේ එම දර්ශනය, මුල් කාලයේදී බංග්ලාදේශයට අයත් එකක් ලෙස අන්තර්ජාලය පුරා වැරදි ප්‍රචාරයන් පැතිර ගියද, පසුව එය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූවක් බව ලොවටම අනාවරණය විය.
මෙම සිත්ගන්නාසුලු දර්ශනය මුලින්ම මුහුණුපොතට එක් කර තිබුණේ පොළොන්නරුව ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ගිණුමකින් සිංහල වදනක් ද සහිතව වන අතර, පසුව විදෙස් මාධ්‍ය පවා මෙය සැබෑ ජීවිතයේ ඩිස්නි චිත්‍රපටයක දර්ශනයක් බඳු යැයි හඳුන්වා දී තිබුණි.ජාත්‍යන්තරයේ පවා ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ මෙම අහිංසක දියණිය සොයා මාධ්‍ය කණ්ඩායම් ඇයගේ ගම් පියසට යන විටත් ඇය පසුවූයේ තමන්ටම ආවේණික වූ සත්ව ලෝකයකය. පොළොන්නරුව ලංකාපුර 14 ඇල ගම්මානයේ ජීවත් වන මෙම හත් හැවිරිදි දැරිය නමින් ශ්‍රේතා පුන්සදී වන අතර ඇය මේ වන විට දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. උපතින්ම සතුන්ට දැඩි ලෙන්ගතුකමක් දක්වන ශ්‍රේතා, ස්වභාවධර්මයට ඉතා සමීප පරිසරයක සරල ජීවිතයක් ගත කරන අතර සතුන් සමඟ අපූරු සන්නිවේදනයක් පැවැත්වීමට ඇයට සුවිශේෂී හැකියාවක් පවතී.
සමාජ මාධ්‍ය කැළඹූ ඉත්තෑ පැටවා සහ ශ්‍රේතා අතර ඇති සබැඳියාව ආරම්භ වන්නේ අහඹු සිදුවීමකිනි. දිනක් සුනඛයන් බුරන හඬ ඇසී ඇයගේ පවුලේ සාමාජිකයන් සොයා බලන විට, බල්ලන්ගේ සපා කෑමට ලක්ව තුවාල ලැබූ ඉත්තෑවෙකු සෙවිලි තහඩු ගොඩක් අස්සේ සැඟවී සිටිනු දැක ඇත. කකුලකට බරපතළ තුවාල සිදුව සිටි මෙම සත්වයා නිවසට රැගෙන ආ පවුලේ පිරිස, නිවසේ තිබූ ඖෂධ භාවිත කරමින් දින කිහිපයක් පුරා සත්කාර කර සුවපත් කර තිබේ. සුවය ලැබීමෙන් පසු වනගත වූ මෙම ඉත්තෑවා, පසුව දිගින් දිගටම ශ්‍රේතාගේ නිවසට පැමිණීමට පුරුදු වී ඇත.
ටුටු ලෙස හඳුන්වන මේ ඉත්තෑවා මීට මාස හතරකට පමණ පෙර ගෙවත්තේ සිටියදී හමු වූ බවයි. දවසක් මම එනකොට බල්ලෝ බුර බුර හිටියා. පස්සේ මම බලපුහම ඔය යකඩ ගොඩක් අස්සේ ඉන්නවා ඉත්තෑවෙක්. රෙදි කෑල්ලකින් අල්ලලා බලනකොට කකුල කකුල කැඩිලා වගේ තිබුණා. තුවාල වෙලා තිබුණා. අපි ඉතින් අපි දන්න බෙහෙත් දාන්න පුළුවන් දේවල් දාලා දවස් දෙකක් විතර එහෙම බෙහෙත් කරනකොට පස්සේ එයාට තරමක් හොඳ වුණා. පස්සේ එයා ඔහොම එළියේ ඉඳලා යනවා, එනවා. ඊටපස්සේ දුව ළඟට යනවා. එහෙම අත ගාලා එහෙම හුරු වුණා.
කාලයත් සමඟ මෙම වන සත්වයා ශ්‍රේතා කෙරෙහි දැඩි විශ්වාසයක් සහ ලෙන්ගතුකමක් ඇති කරගත් අතර ඇය ඔහුව ආදරයෙන් හඳුන්වන්නේ ටුටු මල්ලි යන නමිනි. මෙම සත්වයා නිවසේ සිරකර තබා නොමැති අතර, ඔහුට කැමති පරිදි වනයේ සැරිසැරීමට නිදහස දී තිබුණද ස්වේච්ඡාවෙන්ම නිතර නිතර ශ්‍රේතා සහ පවුලේ අය සොයා පැමිණෙයි. ඇයගේ මව පවසන්නේ ටුටු ඔවුන් සමඟ සිටින විට තම ආරක්ෂක කටු පවා පහත හෙළා අතිශය සාමකාමීව හැසිරෙන බවත්, මිනිසුන් සතුන්ට සැබෑ ලෙසම ආදරය කරමින් ඔවුන්ව වටහා ගන්නේ නම් සතුන්ගෙන් මිනිස් සංහතියට ඉගෙන ගැනීමට බොහෝ ගුණධර්ම ඇති බවත්ය. තමන්ගේ දියණිය ස්වභාව ධර්මයට වඩාත් සමීපව ගෙවන ජීවිතය ගැන තමන් වඩාත් සතුටු වන බවයි ශ්වේතාගේ මව පවසන්නේ. අපි දුප්පත්. ඒ වුණාට අපි වටේ ලස්සන පරිසරයක් තියෙනවා. ඒ පරිසරයත් එක්ක දූ පරිසරය විඳිනවා. අද කාලේ දරුවන්ට නැත්තෙම ඒක. එයාට ආදරය කරන්න සත්තු ටිකක් ඉන්නවා. එයා ආදරය කරනවටත් වැඩිය ඒ සත්තු එයාට ආදරය කරනවා. සත්තුන්ට කතා කරන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ ඒ සත්තුන්ගේ භාෂාව. මගේ දූ ඒක තේරුම් අරන් තියෙන එක ගැන මට හරි ආඩම්බරයි.