ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරියක් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා තරගයකදී බිකිනි ඇඳුමෙන් සැරසී ඉදිරිපත් වූ බවටත්, ඇයට එරෙහිව විනය පියවර ගන්නා ලෙස එම පාසලේම පිරිසක් විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇති බවටත් සඳහන් පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය විය. ගුරු වෘත්තියට එම හැසිරීම සුදුසු නැති බව පවසමින් විවිධ පාර්ශ්වයන්හි අවධානය යොමු කරවීමට මෙම පෝස්ටු සමත් විය.
කෙසේ වෙතත්, කරුණු විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු එකක් බවයි. අදාළ ඡායාරූපවල පෙනී සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු හෝ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති තැනැත්තියක නොව, මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ (Guatemala) පුරවැසියෙකි. ජේමි ස්ටෙෆනි (Jeyme Stefany) නමැති ඇය සහභාගී වී ඇත්තේ ග්වාතමාලාවේ පැවැත්වුණු "Monja Blanca" රූ රැජින තරගයටයි.
දේශීය සමාජ මාධ්‍ය පිටු රැසක් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් කිහිපදෙනෙකුද මෙම නොමඟ යවන සුළු තොරතුරු පරීක්ෂා කිරීමකින් තොරව හුවමාරු කරගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සත්‍ය තොරතුරු නිරාවරණය වන තෙක්ම බොහෝ පිරිසක් අසත්‍ය පුවතක් පදනම් කරගනිමින් විවිධ මතවාද ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.