the-constable-who-posted-fb-on-how-to-cheat-with-his-girlfriend

තමන්ගේ පෙම්වතිය සමඟ ලබාගත් අසැබි වීඩියෝ පටයක් ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියකට අදාළව ගෝනාපිනුවල පොලිසියට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු අළුබෝමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට මුහුණ පෑ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පසුගිය 19 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.




වසර තුනක පමණ කාලයක් තිස්සේ පැවැති ප්‍රේම සබඳතාව අතරතුර දෙදෙනා එක්ව සිටි අවස්ථාවක ලබාගත් වීඩියෝ පටයක්, සැකකාර නිලධාරියා විසින් අදාළ තරුණියගේම ෆේස්බුක් ගිණුම භාවිත කරමින් ඇයගේ මිතුරියක වෙත යොමුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුව මේ පිළිබඳව තරුණිය පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ කෝපයට පත් කොස්තාපල්වරයා, එම පැමිණිල්ල ඉවත් කර නොගතහොත් වීඩියෝව මුළු සමාජ මාධ්‍ය වෙතම නිකුත් කරන බවට ඇයට දිගින් දිගටම දුරකතනයෙන් තර්ජනය කර ඇති අතර, පසුව ඔහු එය මුහුණු පොත වෙත මුදාහැර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

ලැබුණු පැමිණිල්ලට අනුව පොලිසිය වෙත කැඳවීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, සැකකාර නිලධාරියාගේ මෙම ක්‍රියාව හේතුවෙන් පැමිණිලිකාර තරුණිය බලවත් ලැජ්ජාවට හා බියට පත්වී ඇති බවත්, ලිංගික අනාවරණයක් සිදුකර ඇති බවත් තහවුරු වී ඇත. ඒ අනුව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 345 සහ 486 යන වගන්ති ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ වීඩියෝව තරුණියගේ කැමැත්ත මත ඇයගේම ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බැවින්, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ඇයගේ යම් සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳවද පොලිසිය විශේෂ විමර්ශනයක් පවත්වයි.




අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් විජේවීර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.