the-prime-minister-tells-what-will-be-done-to-the-mansions

ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා මින් ඉදිරියට නිල නිවාස ලෙස භාවිත නොකර, ඒවා මහජනතාවගේ සහ වාණිජ අංශයේ යහපත උදෙසා යොදාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ මෙම රාජ්‍ය දේපළ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබානොදීම බව ඇය මෙහිදී අවධාරණය කළාය.




මෙම වටිනා දේපළ අබලන් වීමට ඉඩ නොදී නිසි ලෙස නඩත්තු කරමින්, ඒවායින් උපරිම ඵලදායිතාවක් ලබාගැනීමට රජය සැලසුම් කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ මත, ජනාධිපති මන්දිරය ඇතුළු ගොඩනැගිලි වාණිජ හා පොදු කටයුතු සඳහා යොදාගැනීමේ මූලික පියවර මේ වන විටත් තබා තිබේ. විශේෂයෙන්ම, හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල බංගලා කිහිපයක් දැනටමත් අධිකරණ කටයුතු සහ නඩු විභාග පැවැත්වීම සඳහා අනුයුක්ත කර ඇති අතර, එමගින් මෙරට අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මහෝපකාරී වී ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු මෙම නිල බංගලාවල පදිංචිව නොසිටින බව තහවුරු කළාය. දැනට ඇතැම් අමාත්‍යවරුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නවාතැන්ගෙන සිටින බව පෙන්වා දුන් ඇය, ජනතාවට ලබාදුන් පොරොන්දු රජය අකුරටම ඉටුකරමින් සිටින බව සඳහන් කළාය. එබැවින්, පාර්ලිමේන්තුව තුළ කරුණු මතුකිරීමේදී සමාජ මාධ්‍යවල පළවන තහවුරු නොකළ තොරතුරු මත පදනම් නොවී කටයුතු කරන ලෙසද ඇය මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.