පසුගිය රාජපක්ෂ රජය සමයේ අවලංගු කරන ලද කොළඹ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ ජපන් සමාගම වෙත රුපියල් කෝටි 84 කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවා ඇති බවත්, එම සමාගම මේ වන විට ඊට අදාළ පොලී මුදල්ද ඉල්ලා සිටින බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
මෙහිදී වන්දි වශයෙන් ජපන් යෙන් මිලියන 189 ක්, ඇමරිකානු ඩොලර් මිලියන 1.031 ක් සහ ශ්‍රී ලංකා රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් එක් අවස්ථාවකදී ගෙවා ඇති බව අනාවරණය විය. අදාළ ජපන් සමාගම විසින් මේ වන විට තවත් පොලී මුදලක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලූ මුදල මෙතෙක් ගෙවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ව්‍යාපෘතිය අහෝසි කිරීම නිසා සිදු වූ සම්පූර්ණ අලාභය ගණනය කර නොමැති වුවද, 2024 වසරේදී ගෙවන ලද වන්දි මුදල් පිළිබඳ තොරතුරු පමණක් සටහන්ව තිබේ.
කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා මෙම ව්‍යාපෘතිය සුදුසු නොවන බවට හඳුනාගැනීමෙන් පසුව එවකට පැවති රජය මෙය අවලංගු කිරීමට තීරණය කර ඇත. 2020 සැප්තැම්බර් 18 වැනිදා පැවැති සාකච්ඡාවකදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය පිරිවැය ප්‍රතිලාභ අතින් ඵලදායී නොවන බවයි. එමෙන්ම එවකට ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියකද මෙය අධික පිරිවැයක් සහිත ඵලදායී නොවන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී තිබිණි. එවකට නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ව්‍යාපෘතිය පාඩු ලබන එකක් ලෙස දක්වා තිබූ අතර, ව්‍යාපෘතිය අතරමගදී අවලංගු කිරීම නිසා මෙහිදී දූෂණ හෝ වංචා සිදු කිරීමට ඉඩක් නොලැබුණු බවද බිමල් රත්නායක මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිර්දේශ නවයක් ඉදිරිපත් කර ඇති අතර, ව්‍යාපෘතිය නැවැත්වීමට ගත් තීරණය නැවත සමාලෝචනය කර එය ආරම්භ කිරීම හෝ එහි ඇති අනාර්ථික ස්වභාවය ආර්ථිකමය වශයෙන් වාසිදායක තත්ත්වයකට පත් කරගන්නා ලෙස පෙන්වා දී ඇත. කෙසේ වෙතත් විගණකාධිපතිවරයා මෙය සෘජුවම නැවත ආරම්භ කරන ලෙස යෝජනා කර නොමැති අතර, වර්තමාන රජයද මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදුකර අලුතින් තීරණයක් ගෙන නොමැත.
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස බස් රථ සහ සාම්ප්‍රදායික දුම්රිය සේවාවලට අමතරව නව මහජන ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාව 2010 දශකයේ මුල් භාගයේදී හඳුනාගැනුණු අතර, ඊට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යෝජනා කෙරිණි. කොළඹ රථවාහන තදබදය අවම කිරීම, පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීම, වායු දූෂණය පාලනය කිරීම, ගමන් කාලය ඉතිරි කිරීම මෙන්ම බස්නාහිර පළාතේ ආර්ථික සංවර්ධනයට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණු විය.
ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක සමස්ත පිරිවැයක් ලෙස ඇස්තමේන්තු කළ මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මගින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සහනදායී ණයක් ලබාදීමට එකඟ වී තිබිණි. වසර 40 ක කාලයකින් ගෙවා නිම කිරීමට ලබාදුන් මෙම ණය මුදල සඳහා වසර 12 ක සහන කාලයක් හිමිව තිබූ අතර, එම කාලය තුළ ශ්‍රී ලංකාවට කිසිදු මුදලක් ගෙවීමට සිදු නොවීය. 2019 මැයි 23 වන දින ශ්‍රී ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද, ජපානය වෙනුවෙන් එවකට මෙරට ජපන් තානාපති අකිරා සුගියාමා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී ෆුසාටෝ ටනකා යන මහත්වරුද මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.