the-petition-to-allow-the-change-of-gender-identity-through-surgery-was-closed

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගලයන්ට සිය අභිමතය පරිදි සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට පහසුකම් සැලසෙන පරිදි නිකුත් කර ඇති රාජ්‍ය චක්‍රලේඛ සහ වැඩසටහන් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.




අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය ඇතුළු පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නම් කර සිටියහ.

පෙත්සම සලකා බලනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ, අදාළ පෙත්සම ගොනු කිරීම ප්‍රමාද වී ඇති බව සහ ඊට අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නිසි ලෙස නම් කර නොමැති බවයි. එම ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් එය ඉවත දැමීමට පියවර ගත්තේය.




වෛද්‍ය සැත්කම් හරහා ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති වුවද, 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ අනුව වෛද්‍ය සහතිකයක් මත ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට මඟ පෑදී ඇති බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ. මෙලෙස පරිවර්තනය වන පුද්ගලයන් සඳහා රජය විසින් අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම මුළුමනින්ම නීති විරෝධී බවත්, පසුගිය රජයන් මෙන්ම වත්මන් රජයද මෙවැනි ක්‍රියාවන්ට සහාය දක්වන බවත් ඔහු චෝදනා කර ඇත.

ස්වකීය කැමැත්ත මත මෙසේ ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීම තුළින් නීතියට පටහැනි සමලිංගික විවාහයන්ට මඟ පෑදෙන බව පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කරයි. ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය මත පමණක් ලිංග භේදය තීරණය කිරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති මෑතකාලීන තීන්දුවක්ද උපුටා දක්වන පෙත්සම්කරු, මෙම ක්‍රියාකලාපය හමුවේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, ඊට අදාළ සියලු චක්‍රලේඛ සහ රාජ්‍ය වැඩසටහන් බලරහිත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.