the-millionaire-killed-by-the-chinese-is-a-strongman-of-the-chinese-computer-crime-network

ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානියකු මෙන්ම ප්‍රකෝටිපතියකු ද වන හාඕ පොන් නමැති චීන ජාතිකයා කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන කැලෑවේදී කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස ජාත්‍යන්තර මාෆියා කල්ලියක් සිටින බව විමර්ශන මගින් අනාවරණය වී තිබේ. පරිගණක අපරාධ මගින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් හටගත් උග්‍ර ආරවුලක් මෙම අමානුෂික ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.




මෙම අපරාධයට චීන ජාතිකයන් විසිදෙනකු පමණ හවුල් වී ඇති අතර, සිද්ධිය වූ දින මිතුරන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු විසින් වින්දිත කෝටිපතියා වරාය නගරයේ පාලමක් වෙත කැඳවාගෙන ගොස් තිබේ. මොවුන් එකට මාළු බාමින් සිටින අතරතුර ක්‍රියාත්මක වූ සංවිධානාත්මක චීන කල්ලියක් ඔහුව පැහැරගෙන ගොස් ඇත. ඉන් අනතුරුව ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ ඝන කැලෑවකට රැගෙන ගොස් අත්පා ගැටගසා, කෲර වධහිංසා පමුණුවා, කපා කොටා ඝාතනය කර සිරුර ගල්වලින් වසා දමා පලාගොස් තිබේ.

අදාළ ඝාතනය සිදු වූ දිනට පසුදින කරඳන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසකට ගල්ගොඩක් අතරින් එළියට මතුව තිබූ මිනිස් අතක් නිරීක්ෂණය වී ඇති අතර, පසුව කළ පරික්ෂාවලදී එය අතුරුදහන් වූ චීන ජාතිකයාගේ මළසිරුර බව තහවුරු විය. ඒ සමගම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගනිමින් පරීක්ෂණ පුළුල් කළේය.




මෙම සංවිධානාත්මක ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සසු සැකකරුවන් රටින් පලායාම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද ලබාගැනීමට පියවර ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය සහ ඇහැලියගොඩ පොලිසිය එක්ව ඉදිරි විමර්ශන මෙහෙයවන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම නිවැරදි හා කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙසත්, එහිදී නිර්දෝෂී චීන ජාතිකයන්ට අසාධාරණයක් හෝ හිරිහැරයක් සිදු නොවන ලෙස කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

the-millionaire-killed-by-the-chinese-is-a-strongman-of-the-chinese-computer-crime-network