the-law-student-was-killed-in-the-rented-house-where-she-lived-alone

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගොරකාන, ගල්කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මෙම සිරුර හමුවී ඇත්තේ, එම නිවසින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දොර කඩා පරීක්ෂා කිරීමේදීය.




මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි, මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නැමැති 26 හැවිරිදි තරුණියකි. මීට පෙර මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඇය, පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නිරත පුද්ගලයෙකු සමඟ විවාහ වී පසුව ඔහුගෙන් දික්කසාද වී සිටි තැනැත්තියක බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඇය සිය නීති අධ්‍යයන කටයුතුවලට අමතරව, අතිරේක පුහුණුවක් ලෙස නීතිඥවරයෙකු යටතේ අධිකරණ කටයුතු සඳහා ද දායක වෙමින් සිට තිබේ.

මියගිය තරුණිය අදාළ කුලී නිවසේ තනිවම පදිංචිව සිට ඇති අතර, දින දෙකක පමණ කාලයක සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්ට හැකි වී නැත. සුරතල් සුනඛයන් ඇති කිරීමට දැඩි ඇලුම්කමක් දැක්වූ ඇය මියගොස් සිටි කාමරය තුළ කුඩා සුනඛයන් පස්දෙනෙකු ද රැඳී සිට ඇති බව වාර්තා වේ. සිරුර සොයාගන්නා අවස්ථාවේදී ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන පිහි දෙකක් ද සිරුර ආසන්නයේ වැටී තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.




මෙම අද්භූත මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් වෙනත් යම් අපරාධමය මැදිහත්වීමක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නොමැති අතර, ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පානදුර උතුර පොලීසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් විසින් මේ වන විටත් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂාන් සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් පරිදි, පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක නාමල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

the-law-student-was-killed-in-the-rented-house-where-she-lived-alone