මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි. මෙම මරණය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද සැලසුම්සහගත පළිගැනීමක් බවට එම කමිටුව සෘජුවම ප්‍රකාශ කර සිටියි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සහ එහි සභාපති නීතීඥ සේනක පෙරේරා යන මහත්වරුන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මුල් ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින නිලධාරීන් විසින් මෙම රැඳවියන් ඉලක්ක කර ගනිමින් පළිගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු මියගොස් ඇති බව පොලිසිය ද තහවුරු කර ඇත. ඊයේ රාත්‍රි 10.30 ට පමණ අදාළ රැඳවියා අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර, ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියෙකුද මියගොස් ඇති අතර ඊයේ රාත්‍රි 11.00 ට පමණ අදාළ රැඳවියාගේ සිරුර බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මෙම ඝාතනය සියදිවි හානිකර ගැනීමක් ලෙස පෙන්වීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බරපතළ සැකයක් මතු කරයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරන්නේ මීගමුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් දැඩි කායික වදහිංසාවලට ලක්වන බවට තොරතුරු අඛණ්ඩව වාර්තා වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් එම රැඳවියන් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස එම සංවිධානය බන්ධනාගාර බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.