
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී.
මෙවර උසස් පෙළ විභාගයට පළමු සහ දෙවැනි වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් නව දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව පැවැත්විය යුතු අනිවාර්ය පාසල් දින සංඛ්‍යාව මෙවර සම්පූර්ණ වී නොමැති බවයි. රට තුළ පැවති ඉන්ධන අර්බුදය මෙන්ම 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් බදාදා දිනවල පාසල් නිවාඩු ලබා දීමට රජය ගත් තීරණ නිසා අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදු නොවූ බව ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් යටතේ සැලසුම් කර ඇති පරිදි ලබන අගෝස්තු මාසයේදී විභාගය පැවැත්වුවහොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවන බැවින්, දැනට ප්‍රකාශයට පත් කර ඇති උසස් පෙළ විභාග කාලසටහන බලරහිත කර විභාගය මාස දෙකකින් කල් දැමීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
මේ අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 3,78,000 ක් ලියාපදිංචි වී සිටියද, ඉන් විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ ඇත්තේ සිසුන් නව දෙනෙකු පමණක් බවයි. සාමාන්‍යයෙන් විභාගයකට පෙනී සිටීම සඳහා සියයට 80 ක පාසල් පැමිණීමක් අවශ්‍ය වුවත්, මෙම පෙත්සම්කාර සිසුන් අතරින් එක් අයෙකුගේ පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2 ක් වැනි ඉතා අවම මට්ටමක බවත්, අනෙක් අයගේ පැමිණීම සියයට 50 සහ 53 වැනි සීමාවල පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවලට පවා සහභාගි වී නොමැති සිසුන් පිරිසක් තමන්ට විභාගයට සූදානම් වීමට කාලය මදි බව පැවසීම ප්‍රශ්නසහගත බවත්, ඔවුන් අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවන අතර කරුණු වසන් කර ඇති බවත් සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය. එමෙන්ම විභාගය කල් දැමුවහොත් සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු ඉදිරි කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වන බවද ඔහු කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන පවතී නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස දෙපාර්ශවයටම නියෝග කළ අතර පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.