the-hired-drivers-throat-was-slashed-to-death---suspect-army-soldier-arrested

අමතර රැකියාවක් ලෙස කුලී යතුරුපැදි ප්‍රවාහන සේවයේ නිරත වූ ඇඟලුම් ආයතන තත්ත්ව පාලකවරයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීම සහ තවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන යුද හමුදා සෙබළෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.




පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශයට අනුයුක්තව සේවය කරන මෙම 29 හැවිරිදි සැකකරු හෝමාගම පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී දේශීයව නිෂ්පාදනය කරන ලද අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 500 ක් සහ කොල්ලකෑම් සඳහා භාවිත කළ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමාගම, පිටිපන උතුර, සමගි මාවතේ පදිංචිව සිටි 41 හැවිරිදි කේ.ඒ.ඩී. රජිත් ධනුෂ්ක නමැති අයෙකි. ඉකුත් 16 වනදා හෝමාගම පිටිපන ගලගාහේන සිංහ අරණ ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුව ඇති අතර, මෘත ශරීරය දොළහේන පිටිපන ගලහාහේන වැඩිහිටි නිවාසය ආසන්නයේ වූ වෙන්දේසි ඉඩමක ඇළ ඉවුරේ තිබී සොයාගනු ලැබීය.




පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය තැනැත්තා සිය යතුරුපැදියෙන් අවසන් වරට ලබාගත් කුලී ගමන අතරතුරදී මෙම සැකකරු විසින් ඔහුගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි. පසුව සැකකරු විසින් මියගිය අයගේ යතුරුපැදිය, මුදල් පසුම්බිය, පවුමක බරින් යුත් රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පළාගොස් තිබේ.

කොල්ලකන ලද යතුරුපැදිය මොරගහහේන පොලිස් වසමේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් පසුව සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.