පානදුර වෙරළ තීරයට හදිසියේම ජෙලිෆිෂ් මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් ගොඩගසා තිබීම හේතුවෙන්, එම මුහුදු තීරයේ දිය නෑමෙන් වළකින ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කෙරේ. ඉකුත් ඉරිදා නිවාඩු දිනයේදී මුහුදේ දිය නාමින් සිටි පිරිසක් මෙම මත්ස්‍යයින්ගේ ස්පර්ශයට ලක්ව තුවාල ලැබීමත් සමඟ මෙම තත්ත්වය මතු වී ඇත.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දසදෙනෙකු පමණ වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස අසාත්මිකතාවන්ට සහ තුවාලවලට ලක්වූ පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද සිටි බව වාර්තා වන අතර, රෝහල් ගත කළ සියලු දෙනාටම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් සුවය ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන අන්දමට පානදුර වෙරළ තීරය පුරා කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගසා තිබී ඇත. ඉරිදා නිවාඩු දිනයේ විනෝද වීම සඳහා පැමිණ දිය නාමින් සිටි පිරිස නොදැනුවත්වම මෙම මත්ස්‍යයින් ස්පර්ශ වීම හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට මුහුණ දී තිබේ.