
මෙරටට ආනයනය කර මාස තුනකට වැඩි කාලයක් ගතවුවද නිදහස් කරගෙන නොමැති වාහන 1,025 ක් හම්බන්තොට වරාය පරිශ්‍රයේ දැනට ගාල් කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම වාහන අතුරින් වාහන 625 ක්ම මෙරටට ගෙනැවිත් මාස හයකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
හම්බන්තොට වරායේ වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම කිසිදු වාහනයක් රේගුවේ ප්‍රමාදයක් හෝ වරදක් හේතුවෙන් නතර වී නොමැති බවයි. පවතින ආර්ථික ගැටලු මෙන්ම වෙළඳපොළ තුළ වාහන සඳහා වන ඉල්ලුම අඩුවීම වැනි විවිධ හේතූන් මත ආනයනකරුවන් විසින්ම මෙම වාහන මුදාගෙන නොමැති බව හෙතෙම සඳහන් කළේය.
රේගු ආඥා පනතේ 109 වැනි වගන්තියට අනුව යම් වාහනයක් සම්බන්ධයෙන් කිසිදු රේගු වරදක් සිදුව නොමැති වුවද, අදාළ ආනයනකරුවන් නියමිත තීරු බදු සහ සෙසු බදු ගෙවා මාසයක් ඇතුළත වාහන වරායෙන් නිදහස් කර නොගන්නේ නම්, එම වාහන ටෙන්ඩර් කැඳවීමක් හෝ ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් අලෙවි කිරීමට රේගු දෙපාර්තමේන්තුවට බලතල හිමිව තිබේ.
එලෙස වෙන්දේසි කිරීමෙන් ලබන ආදායමෙන් රජයට අයවිය යුතු බදු මුදල්, වරාය ගාස්තු සහ ගුදම් ගාස්තු අය කරගන්නා අතර, යම් මුදලක් ඉතිරි වන්නේ නම් එය අදාළ ආනයනකරු වෙත ලබා දීමේ හැකියාව ද පවතී. මාස තුන ඉක්මවූ වාහන පිළිබඳව හම්බන්තොට වරාය මගින් දැනුම් දී ඇති මෙම අවස්ථාවේදී, යම් සාධාරණ හේතුවක් දක්වමින් කිසියම් ආනයනකරුවකු ඉල්ලීමක් කළහොත් එම වාහන නිදහස් කරගැනීමට තවදුරටත් අවස්ථාව සැලසෙන බව ද පැවසෙයි.
විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක, විදේශ විනිමය වැයකර වාහන මෙරටට ගෙනැවිත් මෙලෙස වරායෙන් නිදහස් කර නොගැනීම මගින් සමස්ත ආර්ථිකයටම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.