ශ්‍රී ලංකාවේ ජීවත් වූ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අනුරාධපුර, රැඹෑව, සංගිලිකනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචාගේ කලුමැණිකා මහත්මිය සිය දිවිසැරිය නිමා කර තිබේ. මියයන විට ඇය 114 වන වියේ පසු වූ අතර, මෙරට වැඩිම ආයු කාලයක් භුක්ති විඳි සුවිශේෂී කාන්තාවක ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
වර්ෂ 1912 ක් වූ ජූලි මස 04 වන දින උපත ලබා ඇති කලුමැණිකා මහත්මිය, මෑතකදී සිදු වූ ඇද වැටීමක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. ඉන් අනතුරුව මාස දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය දරුවන් 12 දෙනෙකු මෙලොවට දායාද කළ ආදරණීය මවක වන අතර, සිය ජීවිත කාලය තුළ පස්වන පරම්පරාව පවා සියසින් දැකීමේ දුර්ලභ වාසනාව හිමිකර ගත්තාය. ඇය මියයන විට මුණුබුරු මිණිබිරියන් මෙන්ම මී මුණුබුරු මිණිබිරියන් ද ඇතුළුව 325 දෙනෙකුට අධික දැවැන්ත පවුල් පරම්පරාවක උරුමක්කාරියක වී සිටියාය.