ශ්‍රී ලංකාව මේ වන විට එල්නිනෝ කාලගුණික බලපෑමකට ගොදුරු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය සියයට 63 ක ඉහළ සම්භාවිතාවකින් යුතුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
අනෙක් අතට, එය දුර්වල මට්ටමක පැවතීමට ඇත්තේ සියයට 33 ක වැනි අඩු සම්භාවිතාවක් පමණක් වන බැවින් ඉදිරි මාස කිහිපය තුළ දිවයිනට සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව නියඟය සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට ද මෙරටට සිදුවනු ඇත.කලාපීය කාලගුණික රටාවන් කෙරෙහි මෙම තත්ත්වය බලපෑම් එල්ල කිරීමත් සමඟ එළඹෙන අගෝස්තු මාසයේදී වර්ෂාපතනය ඉතා සීමිත මට්ටමක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වුවද, කාලගුණික පද්ධතිවල පවතින තීව්‍රතාවය මත පදනම් වෙමින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාව ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් හටගැනීමේ දැඩි අවදානමක් ද නිර්මාණය වේ. එමෙන්ම, ලබන වසරේ මුල් භාගයේදී කාලගුණික රටාවන් නැවත වරක් වෙනස් වීමට නියමිත අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික කටයුතුවලට සහ ජල සම්පාදනයට දැඩි බාධා පමුණුවන නියඟයක් ඇතිවීමේ ඉඩකඩක් පවතී.
මෙම කාලගුණික අභියෝගය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් පවත්වා ඇත. පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කැබිනට් අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සමාරම්භක සැසියේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. රාජ්‍ය ආයතන අතර පවතින සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සංරක්ෂණය සහ ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කෙටි, මධ්‍යම හා දිගුකාලීන උපායමාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටු පත් කර තිබේ. කේ.ඩී. ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, අනුර කරුණාතිලක, වසන්ත සමරසිංහ සහ සුසිල් රණසිංහ යන අමාත්‍යවරු මෙම කැබිනට් අනුකමිටුව නියෝජනය කරති.
උද්ගත විය හැකි ඕනෑම අවදානම් තත්ත්වයකට පූර්ව සූදානමක් ලෙස, සියලුම අදාළ අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු විසින් සති දෙකක කාලයක් ඇතුළත තමන්ගේ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කළ යුතු බවට මෙහිදී නියෝග කර ඇත. එමෙන්ම, මහජනතාව අතර අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් හෝ පරස්පර විරෝධී ප්‍රකාශ පැතිර යාම වැළැක්වීම සඳහා, එල්නිනෝ තත්ත්වය පිළිබඳ සියලුම නිල තොරතුරු නිකුත් කිරීමේ බලය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පමණක් පැවරීමට ද මෙරට බලධාරීන් තීරණය කර තිබේ.