putin-fails-fuel-shortage-across-russia

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව පවතින දේශපාලනික පීඩනය තවදුරටත් උග්‍ර කරමින්, රුසියාව පුරා ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා රුසියාව සැලසුම් කරමින් සිටින බවත්, පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඩීසල් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේය.




යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර උත්සන්න වීම මෙම ඉන්ධන අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත. මෙම ප්‍රහාර නිසා රුසියාවේ පිරිපහදු කිරීමේ ධාරිතාවයෙන් සියයට 28ක් පමණ අක්‍රීය වී ඇති බව බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙති. සයිබීරියාව වැනි දුර බැහැර ප්‍රදේශවල පවා පිරිපහදු මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල වීම රුසියානු ආර්ථිකයට සහ එහි සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

මොස්කව් නුවර ඇතුළු රුසියාවේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි අතර, සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට ද සිදුව තිබේ. ඇතැම් පළාත්වල ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති අතර, ඉන්ධන ලබා ගැනීමේදී ගැටුම් පවා වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ දේශීයව ලියාපදිංචි වාහන සඳහා පමණක් ඉන්ධන විකිණීමට පියවර ගෙන ඇති අතර, ඇතැම් ස්ථානවල ඉන්ධන ලබා ගැනීමට සීමා පනවා ඇත.




තමන් මුහුණ දෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ ජනාධිපති පුටින්, මෝටර් රථ හිමියන්ට සහ ව්‍යාපාරිකයන්ට මෙම තත්ත්වය නිසා සිදුව ඇති අපහසුතාවන් පිළිගත්තේය. කෙසේ වෙතත්, යුක්රේනය සමඟ පවතින යුද්ධය නතර කිරීමේ හෝ සටන් විරාමයකට යාමේ කිසිදු අදහසක් තමා තුළ නොමැති බව ඔහු අවධාරණය කළේය. රුසියානු බලධාරීන් පවසන්නේ යුද්ධය හේතුවෙන් රුසියාවේ ඉන්ධන සංචිතවලට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත්, එය හුදෙක් වෙළඳපල අසමතුලිතතාවයක් නොව ඉන්ධන හිඟයක ප්‍රතිඵලයක් බවත්ය.

මෙම අර්බුදය රුසියානු සමාජය තුළ දැඩි නොසන්සුන්තාවයක් සහ කලකිරීමක් ඇති කිරීමට හේතු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කර ගනිමින්, පවතින ඉන්ධන හිඟය රජයට එරෙහිව ජනතා විරෝධයක් ගොඩනැගීමට ඉඩ ඇතැයි ද මත පළවේ. කෙසේ වෙතත්, රුසියානු බලධාරීන් මෙම අර්බුදය පාලනය කිරීම සඳහා පවතින සීමාවන් ලිහිල් කිරීමට සහ අඩු තත්ත්වයේ ඉන්ධන වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.